by Staff writer 14-06-2019 | 7:53 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරියක් වන තනූජා හිගුරගේ මහත්මිය අද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.
ඒ, සුරක්ෂා රක්ෂණයෙහි සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම හමුවේ සිදු කෙරෙන විමර්ශනයට සාක්ෂි ලබාදීම සඳහායි.
සුරක්ෂා රක්ෂණයේ පළමු අදියර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා ක්‍රියාත්මක වූ අතර ඔවුන් එය ජේ. ඩී බෝඩා නැමති තැරැව්කාර සමාගමක් හරහා ප්‍රතිරක්ෂණය කර තිබේ.
එම ගනුදෙනුවට අදාළව තැරැව්කාර සමාගම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට කොමිස් මුදලක් ලබා දී ඇති අතර අදාළ කොමිස් මුදල ප්‍රතිරක්ෂණ වාරික ගෙවීමේදී හිලව් කර ඇත.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරිය අද සිදු කළ සාක්ෂි ලබාදීම්වලදී හෙළිදරව් වූයේ, සම්පූර්ණ ප්‍රතිරක්ෂණ වාරිකයෙන්, පළමුව 10% කුත් ඉතිරි 90% අවස්ථා කොටස් තුනක් වශයෙනුත් ගෙවීම් සිදු කළ බවයි.
එම කොටස් තුනට අදාළ වවුචර් පත් අද ජනාධිපති කොමිසමේ අවධානයට ලක් විය.
පළමු වවුචර පත්‍රයට අනුව වාරිකය රුපියල් මිලියන 637 ක් වන අතර ඉන් අඩු කළ කොමිස් මුදල රුපියල් මිලියන 105 ක් ලෙස දක්වා තිබේ.
නමුත් දෙවන සහ තෙවන වාරික ගෙවීම්වලදී ද එළෙස කොමිස් මුදල් අඩු කළ බවක් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරිය පැවසුව ද ඒ බව වවුචර පත්‍රවල නිශ්චිතව සටහන් කර තිබුණේ නැත.
අදාළ කොමිස් මුදල්වලට සිදු වූයේ කුමක් ද යන්න ප්‍රශ්න සහගත බව මෙහිදී ජනාධිපති කොමිසමේ නියෝජිතයින් සාක්ෂිකාරියට පෙන්වා දුනි.
විනිවිදභාවයෙන් ගනුදෙනු සිදු කළා නම් ඒවා සටහන් කළ නොහැකි මන්දැයි කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සාක්ෂිකාරියගෙන් විමසා සිටියේ ය.
ඇය සඳහන් කළේ, ඒ පිළිබඳ වැඩිදුර කරුණු දැක්වීමක් සිදු කළ හැක්කේ තම ආයතනයේ මූල්‍ය අංශයට බවයි.
ඒ අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මූල්‍ය අංශ ප්‍රධානී මාලනී තෙන්නකෝන් මහත්මිය ඉදිරි නඩු විභාගයේදී කැඳවන ලෙස ජනාධිපති කොමිසම මෙහිදී නියෝග කරනු ලැබුවේ ය.
මේ අතර රක්ෂණය සඳහා ආවරණ පාර්ශවය වන සිසුන් පිළිබඳ දත්ත ලබා ගැනීමේදී වඩා සුදුසු ක්‍රමවේදයක් අනුගමනය කර නොමැති බව ද කොමිසම හමුවේ අනාවරණය විණි.
මෙම සමස්ත ක්‍රියාවලිය තුළින් රජයට අලාභයක් වී ඇත්දැයි රජයේ නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසූ විට ඇය සඳහන් කළේ හිමිකම් නොලැබීම තුළ අලාභයක් වී ඇති බව තමා පිළිගන්නා බවයි.