ශ්‍රී ලංකා - ටජිකිස්ථාන ජනපතිවරු අතර හමුවක්

ශ්‍රී ලංකා - ටජිකිස්ථාන ජනපතිවරු අතර හමුවක්

by Staff writer 14-06-2019 | 5:39 PM

COLOMBO (News 1st) - ටජිකිස්ථානයේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරට ජනාධිපති එමොමොලි රාමොන් මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත විය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ආර්ථික සංවර්ධනය හා අන්තර් ජාතික වෙළෙඳ කටයුතු වර්ධනය කර ගැනීමට දෙරටම කැපවී සිටින බැවින් විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීමට මෙහිදී ජනපතිවරුන් සාකච්ඡා කළ බවයි. ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ 5 වන සමුළුව සඳහා සහභාගිවීමට ටජිකිස්ථානයට ගිය ජනාධිපතිතුමා සිය සංචාරයේ පළමු කටයුත්ත ලෙස එරට ජනාධිපතිතුමා හමුවිය. දුෂාන්බේහි පිහිටි ජනාධිපති මන්දිරය වෙත ගිය ජනාධිපතිතුමා ටජිකිස්ථාන ජනාධිපතිතුමා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ය. දෙරට අතර ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීමේ කඩිනම් වැඩපිළිවෙලක් පිළිබඳව නායකයින් දෙපළගේ අවධානය යොමු වූ අතර කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් හා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය පණ ගන්වා ඉදිරියට ගෙනයාමේ ක්‍රියාවලියේදී ලෝකයේ සියලු රටවල් සමග සමීපව හා මිත්‍රශීලිව කටයුතු කිරීම තම අරමුණ බව ද ජනාධිපතිතුමා එහිදී සඳහන් කර ඇත.