ICC යට චෝදනාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට අඩු සැලකිලි - ICC යට චෝදනාවක්

by Staff writer 14-06-2019 | 10:30 PM

COLOMBO (News 1st) - මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණදීමට සිදුව ඇති ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර තිබේ.

ඊ-මේල් පණිවුඩයක් යොමුකරමින් අදාළ ගැටලු සම්බන්ධව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසන්තා ද මෙල් මහතායි. තමන්ට ලබාදී ඇති හෝටල පහසුකම් සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බව එහි සඳහන් එක් කරුණකි. ශ්‍රී ලංකා කණ්ඩායමට ගමන් කිරීමට ලබාදී තිබෙන බස් රථය කුඩා ප්‍රමාණයේ එකක් බවත් අනෙක් කණ්ඩායම්වලට පහසුකම් සහිත බස්රථ ලබාදීමට කටයුතු කර ඇති බවත් පැමිණිල්ලේ දැක්වේ. ක්‍රීඩකයින්ට පිහිණුම් තටාකයක් හෝටල් පරිශ්‍රය තුළ නොමැතිවීම මෙන්ම ලබා දී ඇති ආහාර පාන සම්බන්ධයෙන් සතුටුදායක තත්ත්වයක් නොතිබීම ද තව ත් කරුණු දෙකකි. පිරිසිදු කිරීම සඳහා ක්‍රීඩකයින් ලබා දෙන ඇඳුම් අස්ථානගත වීම සම්බන්ධයෙන් ද එම ඊ-මේල් පණිවුඩයේ සඳහන් විය. ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුවීම සඳහා පන්දු යවන්නන් ලබා නොදීම නිසා පුහුණුවීම් අතහැර දැමීමට සිදු වූ අවස්ථා පිළිබඳව ද අසන්තා ද මෙල් මහතා කරුණු පැහැදිලි කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් තරග සඳහා ලබා දී තිබු තණතීරුවල අධික තණකොළ ස්වභාවය සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරවරයා කරුණු දක්වුවේ ය. ශ්‍රී ලංකා කණ්ඩායමට තණකොළ සහිත තණතීරු ලබාදීමත් අනෙක් කණ්ඩායම්වලට දුඹුරු පැහැති තණතීරු ලබා දීමත් මේ පැමිණිල්ලේ දැක්වෙන තව ත් කරුණු කිහිපයකි. හෙට තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඕවල් ක්‍රීඩාංගණයේයි. එහි ඇත්තේ තණකොළ සහිත තණතීරුවක් බවත් ඒ සම්බන්ධයෙන් ද කරුණු දැක්වීමට අද දිනයේ කටයුතු කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසන්තා ද මැල් මහතා අප සමග පැවසුවේ ය.