by Staff writer 14-06-2019 | 9:45 PM
News 1st - ඕමාන සමුද්‍ර සන්ධියේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ නෞකා 2 ක් පිපිරීමකට ලක්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පිපිරීමෙන් නෞකා 2 ට දැඩි හානි සිදු වී ඇති බවයි.
මෙලස පුපුරා ගොස් ඇත්තේ ජපානයට අයත් කොකුකා කරෙජස් හා නෝර්වේ රාජ්‍යයට අයත් ෆ්රන්ට් ඇල්ටෙයාර් නෞකායි.
මෙහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් නිරුපද්‍රිතව බේරා ගැනීමට ඉරාන සහ අමෙරිකා හමුදා සමත් විය.
ෆ්රන්ට් ඇල්ටෙයාර් නෞකාවේ සිටි 23 න් දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලය ඒ ආසන්නයේ තිබූ තව ත් නෞකාවකින් බේරාගෙන ඉරාන නෞකාවකට භාර දී ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔවුන් මේ වන විට ඉරාන දකුණු වරායට ගෙන ගොස් ඇති බවයි.
කොකුකා කරෙජස් නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සමාජිකයින් 21 දෙනා යූ එස් එස් බ්‍රේන් බ්‍රිජ් නැමති අමරිකානු නෞකාවකින් බේරාගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කොකුකා කරෙජස් නෞකාව සවුදි අරාබියේ සිට සිංගප්පූරුව දක්වා මෙතනෝල් ප්‍රවාහනය කරමින් සිට ඇති බවයි.
තායිවාන තෙල් සංස්ථාව භාවිත කළ ෆ්රන්ට් ඇල්ටෙයාර් නෞකාව නැප්තා නමැති රසායන ද්‍රව්‍යයක් රැගෙන පර්සියානු සමුද්‍ර සංධියේ සිට ජපානය බලා යාත්‍රා කරමින් තිබු එකකි.
පිපිරීම්වලට හේතුව නිශ්චිතව මෙතෙක් සොයාගෙන නොමැත.
මෙම පිපිරීමට ඉරානය වගකිව යුතු යැයි අමෙරිකාව චෝදනා කරන නමුත් ඉරානය එය ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ අමෙරිකාව ආක්‍රමණශීලී ලෙස හැසිරෙන බවයි.
කෙසේ වෙතත් අමෙරිකාව හා ඉරානය අතර මැද පෙරදිග කලාපයේ අර්බුදකාරී තත්ත්වයක් උත්සන්නව ඇති අවස්ථාවක මෙවැනි පිපිරීමක් සිදුවීම බරපතළ ගැටලුවක් බව ජාත්‍යන්තර විද්වතුන් පෙන්වා දෙති.
මීට මසකට පමණ පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආසන්න මුහුදේදී ද ඉන්ධන ප්‍රවාහන නෞකා 4 කට ප්‍රහාරයක් එල්ල විය.
ඕමාන සමුද්‍ර සංධිය පිහිටා තිබෙන්නේ ද ඒ ආසන්නයේයි.
ඕමාන සමුද්‍ර සංධිය ඩොලර් බිලියන ගණන් වටිනා ඉන්ධන තොග ප්‍රවාහනය කරන සුවිශේෂ ගමන් මාර්ගයකි.
එමෙන්ම මෙම මුහුදු කාලාපය වැදගත් වන තව ත් කාරණයක් වන්නේ චීන අධාර යටතේ ඉදිවන විශාල වරායක් වන ග්වාදා වාරාය පිහිටා ඇත්තේ ද මේ ආසන්නයේ වීමයි.
එය වීනයේ වත්මන් සේද මාවතේ මර්මස්ථානයකි.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අමරිකානු නාවික හමුදාවට අයත් යූ එස් එස් මේසන් නෞකාව මේ වන විට අදාළ නෞකා දෙක පිපිරීමට ලක් වූ ප්‍රදේශයට ලඟා වෙමින් සිටින බවයි.
මෙම මුහුදු කලාපයේ අමෙරිකා ආරක්ෂක බළකාවලට ඉරාන හිතවාදී හමුදාවලින් ප්‍රහාරයක් එල්ල විය හැකි බව පවසමින් පසුගිය මැයි මාසයේදී අමෙරිකාව ගුවන් යානා ප්‍රහාරක කණ්ඩායමක් ද පිටත් කර හැර තිබුණි.
ජපාන කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන ලේකම් යෝෂීහීඩේ සූගා මහතා පවසන්නේ, මෙම පිපිරීම් සම්බන්ධයෙන් අමෙරිකාව පවත්වන විමර්ශනවලට සහයෝගය දක්වන බවයි.
ඊයේ සිදු වූ ප්‍රහාර සම්බන්ධයෙන් තම රජය තවදුරටත් තොරතුරු එක්රැස් කරන බව එරට මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කර තිබේ.