බැඳුම්කර වංචාව:විත්තිකරුවන් 10කට අධිචෝදනා

බැඳුම්කර වංචාවේ විත්තිකරුවන්ට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරීමට අගවිනිසුරුගෙන් අවසරය

by Staff writer 13-06-2019 | 4:41 PM
COLOMBO (News 1st) - බැඳුම්කර වංචාවට අදාළව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හා පර්පෙචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු 10 දෙනෙකුට එරෙහිව ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර නඩු පැවරීමට අගවිනිසුරුවරයා, නීතිපතිවරයාට අවසර දී තිබේ. නීතිපතිවරයා මීට පෙර අගවිනිසුරුවරයාගෙන් අධිචෝදනා ගොනු කිරීම සඳහා අවසර ඉල්ලා තිබිණි. 2015 ජනවාරි 27 වන දා බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් මිලියන දස දහස් පනස් අටක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර වංක ලෙස ව්‍යපහරණයට කුමන්ත්‍රණය කිරීම විත්තිකරුවන්ට එල්ල වී ඇති එක් චෝදනාවකි. මීට අමතරව ඊට අනුබල දීමෙන් පොදු දේපළ පනතේ 5 (1) වගන්තිය යටතේ ගැනෙන සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව ද සියලුම විත්තිකරුවන්ට එල්ල වී තිබේ. රුපියල් බිලියන 10.08ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර බැහැර කිරීමට අදාළව පොදු දේපළ පනතේ සාපරාධී විශ්වාසය කඩ කිරීමෙන් රජයට රුපියල් මිලියන 688කට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනා අර්ජුන මහේන්ද්‍රන්ට හා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි යන අයට එල්ල වී තිබේ. මොවුන්ට එරෙහිව ඇති අධිචෝදනා ගණන 23කි. නඩුවේ සෙසු විත්තිකරුවන් වන්නේ, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම හා කසුන් ඕෂද පාලිසේන, ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස්, ඩී. මිත්‍ර ගුණවර්ධන, සී. රන්ජන් හුළුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්දියපුංචිහේවා යන අයයි.