පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක්

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක්

by Staff writer 13-06-2019 | 7:12 AM
COLOMBO (News 1st) : පොසොන් උත්සවය නිමිත්තෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සැලසුම් කර තිබේ. ඒ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඒකාබද්ධවයි. ඒ අනුව හෙට සිට ලබන 18 වන දා දක්වා එම ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්ම ක්‍රියාත්මක වේ. එම සැලැස්මට අනුව පොසොන් උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රජරට, කොළඹ, මහනුවර, ගම්පහ සහ වයඹ යනාදි ලෙස ප්‍රාදේශික 5ක් ආවරණය වන පරිදි යොදවා ඇති බස්රථ ප්‍රමාණය 600කි. සාමාන්‍ය ගමන්වාරවලට අමතරව මෙවර කන්තලේ ඩිපෝවෙන් කන්තලේ සිට සේරුවාවිල දක්වාත්, දඹුල්ල ඩිපෝවෙන් ඇල්ල හරහා මහියංගනය සිට අනුරාධපුරය දක්වාත්, අනුරාධපුර ඩිපෝවෙන් අනුරාධපුරය සිට මිහින්තලේ දක්වා සහ අනුරාධපුරයේ සිට තන්තිරිමලය දක්වා නව ගමන්වාර ඇතුළත් කර තිබේ. අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට මිහින්තලේ පියගැටපෙළ දක්වා ද මෙවර විශේෂ බස්රථ සේවාවක් ක්‍රියාත්මකයි. මීට පෙර අන්තර් පළාත් පෞද්ගලික බස්රථ සේවාවල ගමනාන්තය අනුරාධපුරයට සීමා වූවත්, මෙවර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ආරම්භ වන පොසොන් සේවා බස්රථ මිහින්තලය දක්වාම ධාවනය කරවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් හෙට දහවල් සිට අනුරාධපුරය සහ මිහින්තලය අතර විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මකයි. ඊට අමතරව කොළඹ කොටුව - අනුරාධපුරය, මහව - අනුරාධපුරය, අනුරාධපුරය - බෙලිඅත්ත යනාදී ලෙස ද විශේෂ දුම්රිය යොදවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.