හිස්බුල්ලා අද විශේෂ කාරක සභාව හමුවට

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා අද විශේෂ කාරක සභාව හමුවට

by Staff writer 13-06-2019 | 7:29 AM
COLOMBO (News 1st) : අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද පස්වරු 2 ට යළි රැස්වීමට නියමිත ය. අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවා ඇත්තේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන් ය. ඊට අමතරව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා සහ නීතිය හා සාමය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා අද කමිටුව හමුවට කැඳවා තිබේ. පසුගිය 11 වන දා පස්වරු 2 සිට රාත්‍රී 8.30 දක්වා විශේෂ කාරක සභාවේ සාක්ෂි විමසීම සිදු කෙරිණ. එහිදී බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි, සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ සභාපති එම්.අයි.එම්.රිස්වි මව්ලවි, කාත්තන්කුඩි මුස්ලිම් දේවස්ථාන සංගමයේ සභාපති මුහම්මද් සුබෙයි යන මහත්වරු කාරක සභාව හමුවේ සාක්ෂි දුන්හ. අප්‍රේල් 21 වන දා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ එම තේරීම් කාරක සභාවේ සභාපතීත්වය දරන්නේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතායි. රවුෆ් හකීම්, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා‍, රවී කරුණානායක, වෛද්‍ය රාජිත සෙනාරත්න, ආශු මාරසිංහ, එම්. ඒ. සුමන්තිරන් හා වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මැති ඇමතිවරු කාරක සභාවේ සෙසු සමාජිකයෝ වෙති. පසුගිය 29 වන දා රැස්වූ එම කාරක සභාව මාධ්‍යයට විවෘත කර තිබූ අතර එදින සාක්ෂි දුන්නේ ආරක්ෂක අමාත්‍යාශයේ ලේකම් ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ සහ ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන මහත්වරුන් ය. ඊට අමතරව, පසුගිය 06 වන දා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන් ද, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ, සාක්ෂි ලබා දුන්නේ ය.