දකුණු ආසියාවේ ආරක්ෂක කටයුතුවලට අතිරේක ප්‍රතිපාදන අනුමත කරන්නැයි අමෙරිකානු රජය සෙනෙට් සභාවෙන් ඉල්ලයි

by Staff writer 13-06-2019 | 9:54 PM
COLOMBO (News 1st) - දකුණු ආසියානු කලාපීය නව ආරක්ෂක සහයෝගීතා වැඩසටහනට අමෙරිකානු ඩොලර් මිලියන 30ක මුදල් ලබන වසර සඳහා අවශ්‍ය බව රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට සෙනෙට් සභාවට දැනුම් දී තිබේ. මේ මගින් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ මාලදිවයිනේ නාවික දේශසීමා ගොඩනැගීම සහ ආරක්ෂාව වැඩි කිරීම සඳහා විදේශ හමුදාවන්ට මුදල් යෙදවීමට අපේක්ෂිත ය. රාජ්‍ය දෙපාර්තමේන්තුව දකුණු ආසියාවේ ඩිජිටල් සබඳතා පුළුල් කිරීම සහ සයිබර් ආරක්ෂාව සඳහා තවත් ඩොලර් මිලියන 64ක් වෙන් කිරීමට සෙනෙට් සභාවේ අනුමැතිය ඉල්ලා තිබේ. 2020 මූල්‍ය වර්ෂය සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ අයවැය මගින් ප්‍රතිපාදන වෙන් කිරීමට පෙර එක් එක් විෂයට අදාළව සෙනෙට් මණ්ඩලය කරුණු විමසා බැලීම සිදුවේ. ඒ යටතේ දකුණු හා මධ්‍යම ආසියානු කලාපය සම්බන්ධ වියදම් පිළිබඳව කරුණු විමසීම අද සිදු කිරීමට නියමිත ය. එහිදී 2020 අයවැය තුළ දකුණු ආසියානු කලාපයේ අමෙරිකානු අභිලාශයන් යන තේමාවෙන් දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් ජී. වෙල්ස් මහත්මිය කරුණු දක්වනු ඇති. ඇය සිය ප්‍රකාශය දැනටමත් සෙනෙට් සභාවට යොමු කර තිබේ. ඉන්දු, පැසිෆික් අමෙරිකානු ප්‍රතිපත්තිය පිළිබඳව ඇය එහිදී කරුණු දක්වා ඇති අතර එහි සඳහන් වන්නේ විවෘත වාණිජ කටයුතු, නිදහස් ගමනා ගමනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමකාමීව ආරවුල් විසඳා ගැනීම මෙම ප්‍රතිපත්තිය තුළින් අපේක්ෂා කරන බව ය. උපුටා ගැනීම
ඇලිස් ජී. වෙල්ස් දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් "මෙම ප්‍රතිපත්ති ලෝක ජනගහණයෙන් අඩක් පමණ වන ඉන්දු, පැසිෆික් කලාපයේ ජීවත් වන ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීමටත් කලාපයේ දිගුකාලීන අනාගතයටත් ඉතා වැදගත්. ලෝකයේ 70%ක් පමණ වාණිජ කටයුතු සිදු වන්නේ ඉන්දු පැසිෆික් කලාපයේ සාගරය හරහායි. අමෙරිකා එක්සත් ජනපදය අපගේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග, සංවර්ධන ක්‍රියාමාර්ග සහ ආරක්ෂක සහයෝගීතා හරහා තමන්ගේ සාගරය සහ ගුවන ආරක්ෂා කර ගන්නවා. ඒ වගේම අමෙරිකා එක්සත් ජනපදය තම මිත්‍ර රටවල් හා හවුල්කරුවන් වන ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ජපානය ඇතුළු අනෙකුත් රටවල් සමග ඉන්දු පැසිෆික් රටවලට තමන්ගේ දේශපාලනික හා ආර්ථික ස්වාධීනත්වය තහවුරු කර ගැනීමට සහය දෙනවා. ඒ හරහා ඔවුන්ට තමන්ගේ නිදහස හා සෞභාග්‍ය ළඟා කර ගැනීමේ මාර්ගය සකස් කර ගන්න පුළුවන් වෙනත් අයෙකුගේ පිහිට පතන්නේ නැතුව. විනිවිද භාවය සහ ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංගවලින් ගිලිහුණු තිරසර නොවන යටිතල පහසුකම් ව්‍යපෘති හරහා ආර්ථිකයන්ට දරාගත නොහැකි ණය වෙත තල්ලු කර දැමීමෙන් අපගේ හවුල්කරුවන් පීඩාවට පත් කිරීමට චීනයට හෝ වෙනත් රටකට ඉඩ දෙන්න බැහැ."
උපුට ගැනීම අවසන් මේ අතර දකුණු ආසියානු කලාපයේ ආර්ථික හා දේශපාලන නිදහස පමණක් අමෙරිකාව අපේක්ෂා නොකරන බව පවසන ඇලිස් ජී. වෙල්ස් මහත්මිය පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ පරීක්ෂණවලට සහය වෙමින් ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ද පියවර ගෙන ඇති බව ය. ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත මෙම ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සඳහා එෆ්.බී.අයි. නිලධාරීන් කණ්ඩායමක් වහාම යොමු කළ බව ද ඇය පවසයි. දකුණු ආසියානු කලාපය පිළිබඳව අමෙරිකාවේ උනන්දුව මේ ප්‍රකාශයෙන් යළිත් තහවුරු වේ. ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඇති කර ගැනීමට සූදානම් වන එකඟතා සහ දැනටමත් ඇති කර ගෙන තිබෙන එකඟතා පිළිබඳව මේ වන විට පුළුල් සංවාදයක් ඇති වී තිබේ. මේ සම්බන්ධයෙන් ආගමික නායකයෝ ද පසුගිය දිනවල සිය විරෝධය පළ කළහ.
පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි - සභාපති සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය "වනාන්තර පද්ධතියක් හරි එහෙම නැත්තම් ජාතික සම්පත් උරුමයක් හරි විනාශ කිරීමට මේ කිසිදු පාලකයෙක්ට පුළුවන් කමක් නෑ.විල්පත්තු වනාන්තර පද්ධතියට ඇවිල්ලා බැසිල් රාජපක්ෂ මහත්මයා ලියවිල්ලකින් ලියලා දිලා යනවා කාගෙන්වත් අහන්නේ නෑ අක්කර 4600ක් කපන්න කියනවා රිෂාඩ් බදියුදීන්ට. දැන් මහනුවර මධ්‍යම හයිවේ එක, හයිවේ එක මොකක්ද කරලා තියෙන්නේ, මොකක්ද ඊ.අයි.ඒ එකක් සම්බන්ධයෙන් කරලා තියෙන වාර්තාව. පරිසරවේදීන් විද්‍යාඥයින් සහ භූ විද්‍යාඥයින්ගෙන් වාර්තා ඇවිල්ලා තියෙනවා නුදුරේදීම ඉතාම දැවැන්ත පාරිසරික අර්බුදයකට මධ්‍යම කඳුකරය පත් වෙනවා. එකම අවශ්‍යතාවය හයිවේ එකක් ගහනවා. ඒ හයිවේ එකට කොමිස් එකක් තියෙනවා. හයිවේ එකක් ගැහුවයි කියලා පළඳනාවක් තියෙනවා මහින්ද රාජපක්ෂ මහත්මයා කරා වගේ අපේ ආණ්ඩුවෙන් තමයි යූ.එන්.පී එකෙන් තමයි මේක කළේ වගේ එකක් කියනවා. රට අනතුරකට පත් කරලා තමයි මේ දේවල් කරන්නේ. කිරිඇල්ල මහත්මයාට ඕන වුණාට පස්සේ හන්තානේ ගිහිල්ලා කඳු පාමුල ඒ මධ්‍ය කඳුකරයේ දුම්බර මිටියාවත එහෙන් වෙන්දේසි කරලා දෙනවා අඩි 5000 උඩ කොටස් වෙන්දේසි කරලා දෙනවා තමන්ගේ දූලටයි ඥාතීන්ටයි අක්කලාටයි. මොන රටක් ද? තබ්බෝව ඉඳලා ලාහුගල, මඩකලපුව දක්වා අක්කර ලක්ෂයකට වඩා වැඩි වනාන්තර පද්ධතියක් විනාශ කරලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා අර ගිවිසුම ගැහුවට පස්සේ අර ඇමරිකන් කොරිඩෝ එක හදන කොට ත්‍රිකුණාමලයේ ඉඳලා කොළඹ ඉඳලා ජාතික වන උද්‍යාන අයත්ව අක්කර ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් අපි නුදුරේදීම කියනවා යටත් වන රක්ෂිත ප්‍රමාණය. මේ රටේ ජාතික සම්පත් පිළිබඳව අබ මල් රේණුවක තකන්නේ නෑ. ඒ පිළිබඳව කියපු අමාත්‍යවරු දැන් පෝට් සිටි හදනවා. අපි පැමිණිලි දැම්මට වැඩක් නෑ. නඩු දැම්මම නඩු කාරයෝ ඉල්ලා අස් වෙනවා."