ජනපති ටජිකිස්තානයේ නිල සංචාරයක් අරඹයි

ජනපති ටජිකිස්තානයේ නිල සංචාරයක් අරඹයි

by Sagarika Chathumali 13-06-2019 | 11:15 AM
COLOMBO (News 1st) : ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබද සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ටජිකිස්ථානය බලා පිටත්ව ගියේ ය. ආසියාවේ සාමය,ආරක්ෂාව හා ස්ථාවරභාවය ප්‍ර‍වර්ධනය කිරීම පිළිබඳ සහයෝගිතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම සමුළුව පිහිටුවා ගැනුණේ 1992 වසරේදීයි. ශ්‍රී ලංකාව 2012 වසරේ සිට එහි නිරීක්ෂණ රාජ්‍යයක් ලෙස කටයුතු කළේ ය. ඉන්දියාව, චීනය, රුසියාව ඇතුළුව එහි සාමාජික රටවල් සංඛ්‍යාව 26කි. එම රටවල් 2018 වසරේ සිට ශ්‍රී ලංකාව සාමාජික රටක් ලෙස පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය. මෙහි පස්වැනි සමුළුව ජූනි 14 සහ 15 යන දිනවල ටජිකිස්ථානයේ දුෂාන්බේ නගරයේදී පැවැත්වීමට නියමිතයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජුනි 15 වැනිදා පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුවේදී සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. ජනාධිපතිතුමා එරට ජනාධිපතිවරයා ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට ද නියමිතයි.