සුළි කුණාටුව නිසා ගුජරාට් වෙරළට අනතුරු ඇඟවීමක්

වායු සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ ගුජරාට් වෙරළට දැඩි අනතුරු ඇඟවීමක්

by Staff writer 12-06-2019 | 11:24 AM
(News 1st): වායු සුලිකුණාටුව හේතුවෙන් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ වෙරළ කලාපයට දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මේ වනවිට සුළි කුණාටුව අධි අවධානම් තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව ය . හෙට පෙරවරුවේ ගුජරාට් වෙරළට කඩා වැදීමට නියමිත සුළි කුණාටුව මේ වනවිට ගුජරාටහී වේරාවල් ප්‍රදේශයට කිලෝමීටර් 630 ක් ඔබ්බෙන් ස්ථානගතව ඇති බව සඳහන් වේ. මේ වනවිට වායු සුළි කුණාටු පද්ධතිය පැයට කිලෝ මීටර 17 ක වේගයකින් උතුරු දිශාවට ගමන් ගන්නා අතර මෙම කුණාටුව හේතුවෙන් පැයට කිලෝමීටර 135 ක වේගයෙන් සුළං හමායනු ඇති බව ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීන් සඳහන් කළේය. ගුජරාට් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය විජේ රූපානි නියෝග කළේ, වෙරළ ආශ්‍රිතව දිවිගෙවන සියලු පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරන ලෙස ය. සුළි කුණාටුව හමුවේ ඉන්දීය ජාතික ආපදා කළමනාකරණ ඒකකයේ කණ්ඩායම් 36 ක්, ඉන්දීය හමුදාව සහ වෙරළ ආරක්ෂකයන් මෙන්ම දේශ සීමා ආරක්ෂකයන් ද එම ප්‍රාන්තය වෙත යෙදවීමට ඉන්දීය රජය පියවර ගැනිණි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මෙම සුළි කුණාටුවෙන් ගුජරාට් ප්‍රාන්තයේ කුච්, ජම්නාගර්, ජුනාගාද්, පෝර්බන්ඩාර්, රාජ්කොත්, අම්රේලි, භාව්නගර් ආදී දිස්ත්‍රික්ක බලපෑමට ලක්වනු ඇති බව ය. ප්‍රාන්තයේ ධීවරයන් සියලු දෙනා යළි ගොඩබිම වෙත කැඳවා ඇති අතර සුළි කුණාටුව හමුවේ කුච් ඇතුළු පහත් බිම්වල පිහිටි ප්‍රදේශ රැසක් ගංවතුරෙන් යටවනු ඇතැයි ද අනාවැකි පලවේ. මෙම සුළි කුණාටුවෙන් මහාරාෂ්ට්‍ර, ගෝවා, කර්ණාටක, දමන් සහ ඩියු යන ප්‍රදේශ ද බලපෑමට ලක්වනු ඇතැයි සඳහන් වේ. මේ හමුවේ ප්‍රාන්තයේ වෙරළබඩ කලාපයේ පිහිටි පාසල් සහ විද්‍යාල අද සහ හෙට දෙදින වසා තැබීමට ද ප්‍රාන්ත බලධාරීන් තීරණය කළේය.