ජනපති පරීක්ෂණ කොමිසම හමුවේ සිදුවූ හෙළිදරව්වක්

මාර්ග සංවර්ධන අධිකාරිය අයථා ලෙස සිදුකළ බඳවා ගැනීම් සම්බන්ධයෙන් අනාවරණයක්

by Staff writer 12-06-2019 | 6:37 PM
COLOMBO (News 1st) : අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ උපදෙස් පරිදි මාර්ග සංවර්ධන අධිකාරියට 2015 වසරේදී මහජන සම්බන්ධතා නිලධාරීන් පිරිසක් බඳවා ගෙන ඇත්තේ නිසි ක්‍රමවේදයෙන් තොරව බව අද ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ දී හෙළිදරව් විය. පසුගිය කාලයේ රාජ්‍ය ආයතනයන්හි සිදු වූ වංචා දූෂණ පිළිබඳ සොයා බලන විශේෂ ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි විභාග කරනු ලැබුවේ 2015 වසරේදී මාර්ග සංවර්ධන අධිකාරියට අවිධිමත් ලෙස මහජන සම්බන්ධතා නිලධාරීන් 45 දෙනෙකු බඳවාගැනීමේ සිද්ධියට අදාළවයි. ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියේ පරිපාලන නිලධාරීවරියක් අද සාක්ෂි ලබාදුන්නා ය. ඇය අනාවරණය කළ කරුණුවලට අනුව අදාළ පත්කිරීම් සිදු කිරීම සඳහා ඉල්ලීම් කර ඇත්තේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ උපදෙස් පරිදි ,ඔහුගේ දියණියක වන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් චමින්ද්‍රිනී කිරිඇල්ල මහත්මිය විසින් යොමු කළ ලිපියකට අනුවයි. ඇය මුල් අවස්ථාවේදී නම් 113ක ලේඛනයකුත්, පසුව නම් 15 ක ලේඛනයකුත් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත යොමු කර තිබේ. අවසානයේ එවකට මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ද අනුමත කරන ලද ලේඛනයකින් පුද්ගලයින් 44 දෙනෙක් සම්මුඛ පරීක්ෂණයකට කැඳවා, ඔවුන් සියලු දෙනාම මහජන සම්බන්ධතා නිලධාරීන් ලෙස පත් කර තිබේ. ඒ 2015. ඔක්තෝම්බර් මස 13 වන දිනයි. මීට අමතරව ඒ වන විටත්, අවිධිමත්ව එම ධූරයේ සිටි අයෙක්ව ද 2015 මාර්තු මස පළමුවන දින සිට යළි සේවයේ පිහිටුවා තිබේ. සාක්ෂිවලදී අනාවරණය වූ කරුණු අනුව, මොවුන්ට නිශ්චිත රාජකාරී පැනවීමක් හෝ, සේවා සදහා අනියුක්ත කිරීමක් සිදුකර නොමැත. මෙම මහජන සම්බන්ධීකරණ නිලධාරීන් 45 දෙනා වෙනුවෙන් මාසිකව රුපියල් 25000ක දීමනාවක් වසරක් පුරා ලබා දී ඇති අතර ඒ වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය මාසිකව රුපියල් 11 ලක්ෂ 25000 බැගින් වැය කර තිබේ. මෙම නිලධාරීන් බහුතරයක් මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් ය. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලනඥයෝ ද ඒ අතර වෙති. අදාළ වර්ෂය තුළ මෙම නීත්‍යනුකුල නොවන පත්වීම් නිසා රජයට සිදු වුණු අලාභය රුපියල් එක් කෝටි තිස් පන් ලක්ෂයකි. මෙම පත් කිරීම් ක්‍රියාවලිය සම්පූර්ණ පාරදෘශ්‍යභාවයෙන් තොර බව සාක්ෂි ලබාදුන් නිලධාරිණිය ද ජනාධිපති කොමිසම හමුවේ පිළිගත් අතර ඊට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ පත් කිරීම් සිදු කර මාස 9ක කාලයකින් අනතුරුවයි. ඊට හේතුව ඒවන විට, එනම් 2016 වසරේ මැද භාගයේදී මෙම නීති විරෝධී පත් කිරීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කෝප් කමිටුවේ දීර්ඝ විමර්ශනයක් සිදු වීම බවද මෙහිදී පැහැදිලි විය.