මුබාරක් 2014 සිට NTJ සමග සබඳතා පවත්වලා

කිංග්ස්බරි හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මුබාරක් 2014 සිට NTJ සමග සබඳතා පවත්වා ඇති බව හෙළිවෙයි

by Staff writer 12-06-2019 | 6:45 PM
COLOMBO (News 1st) : කොළඹ කිංග්ස්බරි හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් 2014 වසරේ සිට ජාතික තවුහිත් ජමාත් සංවිධානය සමග සක්‍රීයව සබඳතා පවත්වා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණය දැනුම් දුන්නේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මොහු ඇතුළු පිරිසක් නුවරඑළිය ප්‍රදේශයේ රහසිගත කඳවුරක පුහුණුව ලබා ඇති බවයි. අද එම නඩුව කැඳවනු ලැබුවේ කොළඹ කොටුව වැඩබලන නිල නොලත් මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා හමුවේයි. මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නමැති මෙම මරාගෙන මැරෙන බෝම්බකරු එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් අවසන් වරට ඔහු කොලොන්නාව ජයන්ති මාවතේ නිවසක පදිංචිව සිට ඇති බවත්, CID විමර්ශනවලදී අනාවරණ වී තිබේ. අදාළ නිවස පරීක්ෂා කිරීමේදී අරාබි පාසල් ආරම්භ කිරීම සඳහා අයදුම්කළ ඉල්ලුම්පත්‍රවල ලේඛන රැසක් සොයා ගැනීමට හැකි වූ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය. එම ලේඛනවල අත්සන් තබා ඇති සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියා සිටියේ ය. CID ය අධිකරණයට දැනුම් දුන්නේ මෙම මරාගෙන මැරෙන බෝම්බකරුගේ හිස පොලිස් මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති බවයි. මේ පිළිබද තවදුරටත් විමර්ශනය කර ලබන 10 වන දා අධිකරණයට දැනුම් දෙන ලෙස නිල නොලත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ ය.