සිරිකොත ඉදිරිපිට විරෝධතාවය තව දුරට ත්

ලංගම සේවකයින්ගේ සිරිකොත ඉදිරිපිට විරෝධතාවය තව දුරට ත්

by Staff writer 11-06-2019 | 9:56 AM
COLOMBO (News 1st): ජාතික සේවක සංගමයට අයත් ලංගම සේවකයින් පිරිසක් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිට ආරම්භ කළ විරෝධතාවය මේ වනවිට ත් ක්‍රියාත්මකයි. ඊයේ උදෑසන එම සේවකයින් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණ ඇත්තේ, සිය උසස්වීම්වලට සරිලන වැටුප් වැඩි කිරීම් නොලැබීම ඇතුළු ගැටළු පිළිබඳව පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමග සාකච්ඡා කිරීමේ අරමුණිනි. නමුත්, අමාත්‍යවරයා තමන්ව මගහැර ගිය බවට චෝදනා කරමින්, ලංගම ජාතික සේවක සංගම් සාමාජිකයින් සිරිකොත පරිශ්‍රයේ විරෝධාවකට එක්වූහ. විරෝධතාකරුවන් පවසන්නේ මෙතෙක් තම ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා එක්සත් පක්ෂයේ කිසිඳු වගකිව යුතු මැති ඇමතිවරයෙක් නොපැමිණි බව ය. ඒ, හේතුවෙන් අද දිනයේත් සිරිකොත පක්ෂ මූලස්ථාන පිවිසුම අවහිර කරමින් අඛණ්ඩව සිය විරෝධය දක්වන බව ඔවුන් සඳහන් කළේය. මේ වනවිට සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පොලිස් ආරක්ෂාව ද යොදවා තිබේ.