ඉන්දියාවේ ඉල්ලීමට පකිස්ථානයෙන් අවසර

මෝදිගේ ගුවන් යානයට පකිස්ථාන ගුවන් අවකාශය භාවිත කිරීමට අවසර

by Staff writer 11-06-2019 | 11:51 AM
(News 1st): ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රැගත් ගුවන් යානයට සිය ගුවන් අවකාශය භාවිත කිරීමට පකිස්ථානය අවසර ලබා දී තිබේ. ඒ, කිරිගිස්ථානයේ බිෂ්කෙක් අගනුවර පැවැත්වෙන ෂැංහයි සහයෝගිතා සංවිධාන සමුළුවට සහභාගීවීම සඳහා පකිස්ථාන ගුවන් අවකාශය භාවිත කිරීමට ඉඩ දෙන ලෙස ඉන්දියාව කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවයි . ලබන 13 සහ 14 දෙදින පැවැත්වෙන මෙම සමුළුවට පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ද සහභාගී වනු ඇති. ඉන්දීය ගුවන් හමුදාව පකිස්ථානයේ ත්‍රස්ත කඳවුරකට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු, පකිස්ථානය සියලු රටවලට සිය ගුවන් අවකාශය වසා දැමූමේ ඉකුත් පෙබරවාරි 26 වැනි දිනයි . ඉන් පසුව පකිස්ථානය සිය ගුවන් අවකාශය හරහා යන ගමන් මාර්ග 11 න් දෙකක් පමණක් විවෘත කළ නමුත් ඉන්දීය ගුවන් යානා වෙත පැනවූ තහනම මෙතෙක් ඉවත් කර නොමැත. ෂැංහයි සහයෝගිතා සංවිධාන සමුළුවේදී දෙරටේ නායකයින් සාකච්ජා කිරීමේ සූදානමක් නැති වුවත් තම සාම යෝජනාවට ඉන්දියාව එකඟවනු ඇතැයි පකිස්ථානය තවමත් අපේක්ෂා කරන බව ද විදෙස් මාධ්‍ය පවසයි.