අනුරාධපුරයේ පාසල් 11ක් තාවකාලිකව වසා දමයි

පොසොන් උත්සවය නිසා අනුරාධපුරයේ පාසල් 11ක් තාවකාලිකව වසා දමයි

by Staff writer 11-06-2019 | 2:59 PM
COLOMBO (News 1st): අනුරාධපුරය, මිහින්තලේ සහ තන්තිරිමලේ යන ප්‍රදේශවල පාසල් 11 ක් ලබන 13 වෙනිදා සිට 18 වෙනිදා දක්වා වසා තැබීමට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ, පොසොන් උත්සව සමයේ විශේෂ ආරක්ෂක රාජකාරි සඳහා අනුරාධපුරයට පිට පළාත් වලින් පැමිණෙන පොලීසිය ඇතුළු ආරක්ෂක සාමාජිකයින්ට නවාතැන් පහසුකම් සැපයීම සඳහා ය. අනුරාධපුර පොසොන් උත්සව කමිටුවේ ඉල්ලීමකට අනුව එම පාසල් ලබන 17 සහ 18 යන දෙදින පමණක් වසා දැමීමට උතුරු මැද පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් මීට පෙර තීරණය කර තිබුණි. එහෙත් අනුරාධපුරය, මිහින්තලේ සහ තන්තිරිමලේ යන සිද්ධස්ථාන ආශ්‍රිත ප්‍රදේශ විශේෂ ආරක්ෂක රාජකාරි සඳහා නිරතවන පොලිස් නිලධාරීන්හට එහි ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් පොසොන් උත්සවයට පෙර විධිමත් පෙරහුරුවක් ලබා දීමට එම පාසල් ලබාදෙන ලෙසට පොලීසිය කළ ඉල්ලීමකට අනුව ලබන 13 වැනිදා සිට යෝජිත පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අනුව අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, ස්වර්ණපාලි ජාතික පාසල, ශ්‍රීමත් වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය, සාන්ත ජෝශප් මහා විද්‍යාලය, විවේකානන්ද මහා විද්‍යාලය, සහිරා මහා විද්‍යාලය, මහාබෝධි විද්‍යාලය, දේවානම්පියතිස්ස මහා විද්‍යාලය, තන්තිරිමලේ විමලඥාන විද්‍යාලය, ගලෙන්බිඳුනුවැව අධ්‍යාපන කලාපයට අයත් මිහින්තලේ මහා විද්‍යාලය සහ කම්මලක්කුලම විද්‍යාල වසා තැබෙනු ඇති. එම පාසල් ලබන 19 වෙනිදා ආරම්භ කිරීමට නියමිත ය.