21 ප්‍රහාරය ගැන අවසන් පරීක්ෂණ වාර්තාව ජනපතිට

21 ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ අවසන් වාර්තාව ජනපතිට

by Staff writer 10-06-2019 | 4:15 PM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 වැනි දා දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ පිපිරීම් ආශ්‍රිත සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව ජනාධිපතිතුමා වෙත භාරදී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමාට පිළිගැන් වූ බවයි. ජීවිත විශාල ගණනක් විනාශ කරමින් සිදු වූ මෙම බරපතළ ජාතික ඛේදවාචකයට මුල් වූ කරුණු සහ එහි පසුබිම මෙන්ම ආදාළ සිදුවීම සම්බන්ධයෙන් වූ වෙනත් සාධක පිළිබඳ කරුණු සොයා බලා වාර්තා කිරීමට අප්‍රේල් 22 වැනි දා ජනාධිපතිතුමා විසින් විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් පත් කළේ ය. එහි සමාජිකයින් වන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් යන මහත්වරුන් ය. අදියර දෙකකින් සමන්විත වූ එම පරීක්ෂණ කටයුතුවල අතුරු වාර්තා දෙකක් මීට පෙර ජනාධිපතිතුමා වෙත භාර දුන් බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.