ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණය ලොවට පෙන්වූ කෝලි

ස්මිත්ගේ ගෞරවය වෙනුවෙන් පෙනි සිටිමින් ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණය ලොවට පෙන්වූ කෝලි

by Chathuranga Rajapaksha 10-06-2019 | 11:33 AM
COLOMBO (News 1st): සහයෝගය, බැඳියාව, සහෝදරත්වය පිළිබිඹු කරමින් ජය පරාජය විඳ ගැනීමට අප කාටත් පුරුදු කරන්නේ ක්‍රීඩාව තුළිනි. ඒ, අනුව සහෝදරත්වය පිළිබිඹු කරන තව ත් එක් සුවිශේෂි අවස්ථාවක් අපට ඊයේ දැකගත හැකිවිය. ඒ, මේ දිනවල ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන්ගේ අවධානයට පාත්‍ර වී තිබෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදීය. විරාත් කෝලි යනු ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම කුකුල් කේන්තිකාරයෙකු ලෙස ද ලොවපුරා ජනප්‍රිය පුද්ගලයෙකි.

නමුත් මේ කුකුල් කේන්තිකාරයා විසින් ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණය, ජීව ගුණය ලොවට විදහාපාමින් තවත් ක්‍රීඩකයෙකු ගෞරවය වෙනුවෙන් පෙනී සිටි අයුරු ඊයේ ඔස්ට්‍රේලියාව සමග තරගයේදී අපට දැක ගැනීමට ලැබුණි.

තරගය අතරතුර ඔස්ට්‍රේලියානු හිටපු නායක ස්ටීවන් ස්මිත් හතරේ සීමාව වෙත පැමිණ පන්දු රකිමින් සිටියදී ඉන්දීය ප්‍රේක්ෂකයින් ඔහුව නින්දාවට සහ සම්ච්ඡලයට ලක් කරමින් ඔහුව දැඩිලෙස අපහසුතාවට පත් කළේය. අනතුරව එය දුටු ඉන්දීය නායක විරාට් කෝලි වහාම ක්‍රියාත්මක වී සිය ප්‍රේක්ෂකයින්ගේ ක්‍රියාවට දැඩි ලෙස විරෝධය පල කර සිටි අතර ඔහු ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටියේ ස්ටීවන් ස්මිත්ට අත්පොළසන් ලබාදෙන ලෙස ය. ඉන්පසුව කෝලි විසින් ස්ටීවන් ස්මිත්ට අතට අතට දී සිය නිහතමානීත්වය සහ ‍ගෞරවය ඔහු වෙත පුද කරනු ලැබිණි. එම සිදුවීම මේ වනවිට ලොවපුරා කාගේත් අවධානය යොමු වී ඇති අතර විරාත් කෝලි පිළිබඳ ජාත්‍යන්තරයේ ඔහුට තිබූ ගෞරවය සහ ජනප්‍රියත්වය ද තව ත් ඉහළ ගොස් තිබේ. තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී මෙම සිදුවීම පිළිබඳ අදහස් දක්වමින් විරාත් කෝලි සඳහන් කළේ, ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක ස්ටීවන් ස්මිත්ට එරෙහිව තව දුරට ත් අපහාස සිදු කිරීම අනුමත කළ නොහැකි බව ය. වරදක් සිදු වීමෙන් පසුව එය පිළිගෙන තිබියදීත්, ඊට දඬුවම් විඳ තිබියදීත් තව දුරට ත් නින්දාවට ලක්වන්නේ නම් එය කිසිසේත් අනුමත කළ නොහැකි බව විරාත් කෝලි වැඩි දුරට ත් කියා සිටියේය. ස්ටීවන් ස්මිත් පන්දුව පලුදු කිරීමේ සිදුවීමට වරදකරු වීම හේතුවෙන් ඔහුට පසුගිය වසරේ දී එරට ක්‍රිකට් ආයතනය විසින් වසරක තරග තහනමක් පැනවූ අතර, එම තහනම් කාලය මීට මාස කිහිපයකට පෙර අවසන් විය. මේ අතර ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයෙන් ඉන්දියාවට ලකුණු 36ක පහසු ජයක් ද හිමිවිය.