by Staff writer 10-06-2019 | 12:09 PM
COLOMBO (News 1st) : වැල්ලම්පිටිය, තඹ කර්මාන්ත ශාලාවේ අත්අඩංගුවට ගත් සේවකයින් අතරින් 10 වන සැකකරුවන කරුපයියා රාජේන්ද්‍රන් නොහොත් අබ්දුල්ලා ලබන 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද නියෝග කළේ ය.
අද නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාගෙන් ඉල්ලා සිටියේ සැකකරුට ඇප ලබාදෙන ලෙසයි.
කෙසේ වෙතත් ඊට විමර්ශන නිලධාරීන් විරෝධය දැක්වූ අතර ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ ය.
එම සැකකරුවන්ට සති දෙකකට වරක් වැල්ලම්පිටිය පොලීසියේ අත්සන් තබන ලෙසට නියම කර ඇති ඇප කොන්දේසිය ලිහිල් කර පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ අත්සන් තැබීමට අවසර දෙන ලෙසට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියත් එම ඉල්ලීමට අධිකරණය අවසර ලබාදුනේ ය.
මෙම තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින් 10 දෙනා අතරින් 8 දෙනෙකු මේ වන විට ඇප මත මුදාහැර සිටින අතර 9 වැනි සැකකරුට, ඇපකරුවන් නොමැතිවීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.
ඒ අනුව ලබන 12 වැනිදා එම සැකකරුගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට අවසර ලබා දෙන ලෙස වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට කියා සිටියේ 10 වැනි සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ විමර්ශනය කරන බවයි.
දැනට ඇප මත සිටින සැකකරුවන් පිරිස මෙම තඹ කර්මාන්ත ශාලාවේ හිමිකරු වන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ඉන්සාෆ් අහමඩ් ඊබ්‍රහිම් සමග සබඳතා පවත්වා ඇති බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ කියා සිටියේ ය.
එහෙත් මෙම අපරාධයට කුමන ආකාරයකින් මොවුන් සම්බන්ධ වී දැයි මෙතෙක් හෙළිවී නොමැති බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ ය.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින 10 වැනි සැකකරු ඉන්සාෆ් අහමඩ් ඊබ්‍රහිම් සමග වඩාත් සමීප සබඳතා පවත්වා ඇති බවත් ප්‍රහාරයට පෙර රුපියල් ලක්ෂ 2 ක මුදලක් ඔහු විසින් කරුපයියා රාජේන්ද්‍රන් නොහොත් අබ්දුල්ලා නමැති සැකකරුට ලබාදී ඇති බව විමර්ශනවලදී අනාවරණවී තිබේ.
ඒ සම්බන්ධයෙන් ද විමර්ශනය කරගෙන යන බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ ය.
ඒ අනුව 10 වැනි සැකකරු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා සෙසු සැකකරුවන් පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් ලබන මස 15 වැනි දින අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.