by Staff writer 10-06-2019 | 7:28 PM
COLOMBO (News 1st) - කොළඹ පිටත වටරවුම් මාර්ගයේ තෙවැනි අදියර සඳහා සකස් කළ සැලසුමේ තිබූ දෝෂයක් හේතුවෙන් රුපියල් බිලියන ගණනක අලාභයක් සිදු ව ඇති බවට ඇතැම් පාර්ශවයන් චෝදනා කරති.
මේ පිළිබඳව අප කළ විමසීමකදී මාර්ග සංවර්ධන අධිකාරිය ද සැලසුමේ පැවති දුර්වලතා හේතුවෙන් අදාළ ගනුදෙනුවෙන් ශ්‍රී ලංකාවට විශාල අලාභයක් සිදු වූ බව පිළිගත්තේ ය.
කොළඹ පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියර කඩවත සිට කෙරවලපිටිය දක්වා ඉදිකෙරන අතර එහි දුර ප්‍රමාණය කිලෝමීටර් 9.6 කි.
ඉන් වැඩි දුර ප්‍රමාණයක් කොන්ක්‍රිට් ආධාරක මතින් ඉදිවන අතර මාර්ගය සඳහා මුළු වියදම රුපියල් බිලියන 67 කට ආසන්න වේ.
ඉංජිනේරුවන් පෙන්වා දෙන්නේ, මෙම කොන්ක්‍රිට් ආධාරකවල ප්‍රමාණය අනවශ්‍ය ලෙස වැඩිකිරීම හේතුවෙන් රුපියල් බිලියන ගණනක අලාභයක් සිදුව ඇති බවයි.
මාර්ග සංවර්ධන අධිකාරිය ද මාර්ගය සඳහා ඉදිකළ කොන්ක්‍රීට් කණුවල පළල සහ උස ප්‍රමාණය අනවශ්‍ය ලෙස වැඩිවීම හේතුවෙන් අලාභයක් සිදු වූ බව පිළිගත්තේ ය.
ඔවුන් ප්‍රකාශ කළේ, මෙම තත්ත්වය හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය 2016 වසරේදී පමණ යළිත් කොළඹ පිටත වටරවුම් මාර්ගයේ තෙවැනි අදියර සැලැස්මට අදාළව වෙනස්කම් සිදු කර අදාළ චීන සමාගම වෙත යොමුකළ බවයි.
එහෙත් සමාගම එම වෙනස්කම් හේතුවෙන් කපාහැරිය යුතු මුදල අඩු කිරීමට එකඟ නොවූ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
එම අධිකාරිය සඳහන් කළේ, එම අවස්ථාවේ රජය තීරණයක් ගත යුතුව තිබුන ද ඉදිරියේදී චීනයෙන් ණය ලබාගැනීමේදී මෙම කරුණ අයහපත් ලෙස බලපෑ හැකි බැවින් අදාළ පාඩුව විඳ ගනිමින් කටයුතු කිරීමට තීරණය කළ බවයි.
කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩවත සිට වැඩිදුර ප්‍රමාණයක් මෙලෙස ඉදිව ඇත්තේ පළලින් වැඩි ඉතා ගණකමින් යුතු කොන්ක්‍රීට් ආධාරක මත වන අතර කෙරවලපිටිය ආශ්‍රිතව සිදුකළ ඉදිකිරීම්වලදි කොන්ක්‍රීට් ආධාරකවල ප්‍රමාණයේ වෙනස පැහැදිලිව දැකගත හැකියි.
අප මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ විශ්‍රාමික ඉංජිනේරුවරයෙකුගෙන් විමසීමක් කළ අතර ඔහු පැවසුවේ, කොළඹ පිටත වටරවුම් මාර්ගයේ ඉදිකර ඇති මෙවැනි විශාල කොන්ක්‍රීට් ආධාරක යොදා ගනු ලබන්නේ ගංගා වැනි විශාල ජල පහවරල් මධ්‍යයේ කෙරන ඉදිකිරීම් සඳහා බවයි.
ගංවතුර අවස්ථාවක විශාල ගස් වැනි දෑ ගසාගෙන විත් රැඳුනහොත් ඉන් මාර්ගයට හානියක් සිදුවිය හැකි බැවින් එවැනි විශාල කොන්ක්‍රීට් ආධාරක යොදා ගත්ත ද ගොඩබිම සඳහා මෙවැනි ඉදිකිරීම් අනවශ්‍ය බව ඔහු පෙන්වා දෙයි.
ඒ අනුව කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අනවශ්‍ය සංකීර්ණ සැලස්මක් හේතුවෙන් රුපියල් බිලියන ගණනක ජනතා මුදල් නාස්ති වී තිබේ ද?
එවන් විශාල මුදල් නාස්තියක් ජනතාවගෙන් වසන් කිරීමේ අරමුණ කුමක් ද?
මේ ප්‍රශ්නවලට වගකිවයුත්තන් පිළිතුරු දිය යුතු නොවේ ද?