ඔස්ට්‍රේලියාව පරදා ඉන්දියාව ජය අත්පත් කර ගනී

ඔස්ට්‍රේලියාව පරදා කෝලි ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම ජය අත්පත් කර ගනී

by Staff writer 10-06-2019 | 8:58 AM
COLOMBO (News 1st) : 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා ලකුණූ 36 ක ජයක් වාර්තා කිරීමට විරාත් කෝලි ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම සමත් විය. එංගලන්තයේ ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 5ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 352කි. එහිදී ඉන්දීය කණ්ඩායමට ප්‍රබල ආරම්භයක් ලබා දුන් රෝහිත් ෂර්මා සහ ශිකර් දවාන් ඉන්දීය ඉණිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 127ක සබඳතාවයක් ගොඩ නැගූහ. ශිකර් දවාන් සිය 17 වන ශතකය රැස් කරමින් වාර්තා කළ ලකුණූ සංඛ්‍යාව 117 කි. රෝහිත් ෂර්මා ලකුණු 57 ක් රැස් කළ අතර නායක විරාත් කෝලි ලකුණු 82 ක් රැස් කළේ ය. විරාත් කෝලි වාර්තා කළේ, සිය 50 එක්දින අර්ධ ශතකයයි. හර්දික් පාන්ඩ්‍යා ලකුණූ 48 ක් රැස් කළ අතර මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 27යි. පන්දු යැවීමේදී මාකස් ස්ටොයිනිස් කඩුලු 2 ක් දවා ගත් අතර පැට් කමින්ස් , මිචෙල් ස්ටාක් සහා නේතන් කෝල්ටර් නීල් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියහ. ලෝක කුසලාන තරගයක දී කණ්ඩායමක් හඹා ගොස් තරගයක් ජය ගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 328යි. ඒ 2011 වසරේදී අයර්ලන්තය විසින් එංගලන්තයට එරෙහිවයි. එමෙන්ම මෙම ක්‍රීඩාංගණයේ හඹා ගොස් තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස 2017 වසරේදී ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව වාර්තා කළ ලකුණු 322 වාර්තා අතරට එක්ව තිබිණ. ඒ අනුව ඉතිහාසගත ජයක් අපේක්ෂාවෙන් පිටියට පිවිසි ඔස්ට්‍රේලියාවට නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 314ක් පමණි. ඩේවිඩ් වෝනර් ලකුණු 56ක්, ස්ටීවන් ස්මිත් ලකුණු 69ක් සහ ඇලෙක්ස් කෙරී නොදැවී ලකුණු 55ක් රැස් කරමින් ඔස්ට්‍රේලියා ඉනිම ශක්තිමත් කළහ. නායක එරෝන් ෆින්ච් ලකුණූ 36 ක් රැස් කළ අතර උස්මන් කාවාඩා ලකුණු 42 යි. පන්දු යැවීමේ දී ජෙස්ප්‍රිට් බුම්රා සහ බුවනේෂ්වර් කුමාර් කඩුලු 3 බැගින් බිද හෙළූ අතර යුස්වේන්ද්‍රර් චහාල් කඩුලු 2 ක් දවා ගත්හ. මෙම ජයග්‍රහණයත් සමගින් මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.