ප්‍රසාද් කාරියවසම් දැන් ඇමරිකානු රාජ්‍ය සේවකයෙක්

ACSA ගිවිසුමට සහය දුන් කාරියවසම් දැන් ඇමරිකවේ රජයේ සේවකයෙක්..

by Staff writer 09-06-2019 | 10:12 PM
COLOMBO (News 1st) : ඇක්සා ගිවිසුමට සහය පළකළ ප්‍රසාද් කාරියවසම් මහතා දැන් ඇමරිකානු රජයේ සේවකයෙක් බව සන්ඩේ ටයිම්ස් පුවත්පත අද වාර්තා කළේ ය. ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ඇක්සා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්ෂක ආමත්‍යංශයට බලපෑම් කළ බව කියන ශ්‍රී ලංකාවේ හිටපු රාජ්‍ය තාන්ත්‍රීක නිලධාරියෙක් මෙන්ම කලක් විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා ලෙස ද ප්‍රසාද් කාරියවසම් මහතා කටයුතු කළේ ය. ඔහු මේ වනවිට, ඇමරිකානු රජයට අයත් ආයතනයක් වන , ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමරිකානු නියෝජිත ආයතනය හෙවත් ,යූ.එස්.ඒඩ් ආයතනයේ සේවකයෙක් බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය. එම නියෝජිත ආයතනයේ, කොළඹ කාර්යාලය විසින් , ඔහුව සේවයේ යොදවා ඇත්තේ , ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුවේ උපදේශකවරයෙකු ලෙසයි . පසුගිය සතියේ සන්ඩේ ටයිම්ස් පුවත් පත අනාවරණය කළේ, කැබිනට් අනුමැතිය ලබාගෙන ඇක්සා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රසාද් කාරියවසම් මහතා තමාට බලපෑම් කළ බවට , හිටපු ආරක්ෂක ලේකම් හා ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ජනාධිපතිවරයා වෙත පවසා ඇති බවයි . තමාට බලපෑම් කළ තවත් පුද්ගලයෙතු ලෙස කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් ජනාධිපතිතුමා වෙත පවසා ඇත්තේ එවක විදේශ අමාත්‍යවරයායි. ,යූ.එස්.ඒඩ් ආයතනයේ, නව පත්විමට අදාළ බලය අනුව , ප්‍රසාද් කාරියවසම් මහතාගේ නම කොළඹ පිහිටි බටහිර තානාපති කාර්යාලවල අමුත්තන්ගේ ලැයිස්තුවට ද ඇතුළත් කර ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තාවේ සඳහන් ය.