Update: ඉන්දීය අගමැති දිවයිනට පැමිණෙයි

නිල සංචාරයක් සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දිවයිනට පැමිණෙයි

by Staff writer 09-06-2019 | 6:33 AM

COLOMBO (News 1st) -

Update - (12.25 P.M)ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති කාර්යාලයට පැමිණෙයි. Update - (11.05 A.M) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි. ================================================================================

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නිල සංචාරයක් සඳහා අද පෙරවරුවේ දිවයිනට පැමිණීමට නියමිත වේ.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා කළ ආරාධනයකට අනුවයි. මැතිවරණයෙන් ජය ලැබූ නරේන්ද්‍ර මෝදි මහතා දෙවන වරටත් එරට අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වූ ජනාධිපතිතුමා මෝදි මහතා හමු වී ප්‍රකාශ කළේ, අප්‍රේල් 21 වැනි දා එල්ල වූ ප්‍රහාරයෙන් පසුව රටේ ආරක්ෂක තත්ත්වය තහවුරු වී ඇති බව ලොවට විදහාපෑම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙසයි. ඒ අනුව අද පෙරවරුවේ දිවයිනට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කටුනායක ගුවන්තොටුපොළේදී පිළිගනු ඇති. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙන අතර ඉන් අනතුරුව ජනාධිපතිතුමා සහ මෝදි මහතා අතර නිල හමුවක් ද පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය. අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ද පිළිගැන්වීමට නියමිත වේ. දෙරට අතර අතීතයේ සිට පැවති ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය බොහෝ සෙයින් ඉවහල් වනු ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ ය. මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවනු ඇති බවයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් අද කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.