"සම්ප්‍රදායික වඩු මඩු තහනම් නැහැ"

"සම්ප්‍රදායික වඩු මඩු තහනම් නැහැ" - පරිසර අමාත්‍යාංශය

by Staff writer 08-06-2019 | 4:53 PM
COLOMBO (News 1st) : දැව මඩු ලියාපදිංචිය හා දේපළ සලකුණු අතිවිශේෂ ගැසට් පත්‍රය සංශෝධනය කිරීම මගින් සම්ප්‍රදායික වඩු මඩු තහනමකට ලක් නොවන බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පැවසුවේ, එම සංශෝධනය මගින් 2022 වසරේ දෙසැම්බර් 31 වන දිනෙන් පසුව ජංගම ලී මෝල් පවත්වාගෙන යාම අත්හිටුවීමට නියමිත බවයි. දිවයින පුරා ජංගම ලී මෝල් 300 ක් පමණ මේ වනවිට ලියාපදිංචි කර තිබේ. ප්‍රකාශයට පත් කිරීමට නියමිත ගැසට් නිවේදනයෙන් එම ජංගම ලී මෝල් සියල්ල ම තහනම් වනු ඇති. නිත්‍යානුකූල ක්‍රමවේද යටතේ දැව ලබාගන්නා ඕනෑම අයෙකුට සම්ප්‍රදායික වඩු කර්මාන්තයේ යෙදීමට එම ගැසට් නිවේදනය මගින් බාධාවක් ඇති නොවන බව ද අමාත්‍යාංශය අවධාරණය කරයි. මේ අතර දැනට නීත්‍යනුකූලව පවත්වාගෙන යනු ලබන දැව මඩුවල දෛනික ගනුදෙනු පිළිබඳ වාර්තා පවත්වාගෙන යා යුතු අතර එක් එක් මාසය අවසානයේ එම වාර්තාවන්හි සහතික කරන ලද පිටපතක් අදාළ අඩවිය භාර වන නිලධාරියා වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු බව ද අදාළ අමාත්‍යාංශ නිවේදනයේ සඳහන් ය. සම්ප්‍රදායික දැව මඩු සඳහා නිකුත් කර ඇති බලපත්‍රවලට මුවා වී වනාන්තරවල ගස් කැපීම සිදු කෙරෙන බව පරීක්ෂණවලින් සොයාගෙන ඇති බව පෙන්වා දෙන අමාත්‍යාංශය එමගින් සිදුවන පරිසර විනාශය අතිමහත් බව ද අවධාරණය කරයි.