ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හෙට පෙරවරුවේ දිවයිනට

ඉන්දීය අගමැති හෙට දිවයිනට: කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක්

by Staff writer 08-06-2019 | 1:36 PM

COLOMBO (News 1st) 6.00Pm - ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හෙට පෙරවරුවේ දිවයිනට පැමිණිමට නියමිතයි.

යළි අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දිමෙන් පසු ඔහු නිල සංචාරයක නිරත වන දෙවන රට ශ්‍රී ලංකාව වීම විශේෂත්වයකි. හෙට උදෑසන කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණෙන ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ ජනාධිපති කාර්යාලයේදී විශේෂ උත්සවයක් සංවිධානය කර තිබේ. එමෙන්ම, සංචාර අතරතුර ඉන්දීය අග්‍රමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු මෙන්ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. මීට අමතරව දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා ද නරේන්ද්‍ර මෝදි මහතා සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කළේ ය. ඔහු හෙට පස්වරුවේ යළි දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර, අදාළ සංචාරය හේතුවෙන් හෙට කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මකයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර හෙට ක්‍රියාත්මක කරන රථවාහන සැලැස්ම පිළිබඳ කරුණු පැහිදිලි කළේ ය. පෙරවරු 11 සිට දහවල් 12 පමණ දක්වා කාලය තුළ කටුනායක ගුවන් තොටුපලේ සිට කටුනායක කොළඹ අධිවේගි මාර්ගය, බෙරැල්ල, නෙළුම් පොකුණ වටරවුම හරහා ගාලු පාර, ජනාධිපති මාවත, දක්වා මාර්ගයේ ඒ මා සදහන් කරපු වේලාව තුළදී ගමනාගමනය යම් ප්‍රමාණයකට සීමා කිරිමක් සිදුවෙනවා.එදිනම ප.ව. 1.45 සිට ප.ව.3.30 පමණ දක්වා කාලය තුළදී ජනාධිපති මාවතේ සිට නෙළුම් පොකුණ වටරවුම. බොරැල්ල හරහා කටුනායක අධිවේගි මාර්ගය ඔස්සේ කටුනායක ගුවන් තොටුපළ දක්වා වාහන ගමනාගමනය සීමා කිරිමක් සිදුවෙනවා. මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ හෙට සංචාරයේදී, දෙරටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය අනාවරණ කළේ ය. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට සහයෝගිතාව දැක්වීමක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුව තමා මෙම සංචාරයේ නිරත වන බවත් ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ඉන්දියාව ශ්‍රී ලංකාව සමග සිටින බවත් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබේ. මේ අතර ඉන්දිය විදේශ ලේකම් විජේ ගෝක්ලේ මහතා කියා සිටියේ අන්තවාදී කණ්ඩායම්වලට මර්දනය කිරීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබාදෙන බවයි. කොළඹ වරාය පර්යන්ත ගිවිසුම වැනි බහු පාර්ශ්වික ආයෝජන ව්‍යාපෘති පිළිබඳවද ඉන්දියාව අවධානය යොමුකරන බව ඉන්දිය විදේශ ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ. තම ජාතික අභිලාසයන් සහිත ව්‍යාපෘතිවලට ජපානය වැනි ප්‍රබල විදේශ ආයෝජකයින් සම්බන්ධ වන්නේ නම් ඊට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බව ද ඉන්දීය විදේශ ලේකම්වරයා පවසා ඇතැයි රොයිටර් පුවත් සේවය සඳහන් කළේ ය. මේ අතර, හින්දුස්ථාන් ටයිම්ස් ද මෝදි අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබදව අද වාර්තාවක් ඉදිරිපත් කර තිබිණ. එහි දැක්වෙන්නේ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය තුළදී ඔහු සමග මෙරට නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා බවයි.

--------------------------------------------------------------------------------------------------------------------

 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද සිය මාලදිවයින් හා ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කිරීමට පෙර ඉන්දීය කේරළ ප්‍රාන්තයේ සංචාරය කළේ ය.

කේරළ ප්‍රාන්තයට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද උදෑසන ත්‍රිවේන්ද්‍රම්හි ගුරුවායුර් කෝවිලට ගොස් ආගමික වතාවත්වල නිරත විය. ඉන්දීය මාධ්‍ය අනාවරණ කළේ, අග්‍රාමාත්‍යවරයාගේ බරට නෙළුම්මල් පූජා කරමින් අගමැති මෝදි මෙහිදී තුලාබාරම් භාරය ඔප්පු කළ බවයි. කේරළ සංචාරයෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මාලදිවයින බලා පිටත්ව යාමට නියමිත වේ. අසල්වැසියා පළමුව යන ප්‍රතිපත්තියට අනුකූලව මාලදිවයින් හා ශ්‍රී ලංකා සංචාරයේ යෙදෙන බවත් එහිදී දෙරට සමග සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ ය. මාලදිවයින් සංචාරයේදී ඉන්දිය අග්‍රාමාත්‍යවරයා එරට පාර්ලිමේන්තුව අමතනු ඇති. ඊට අමතරව මාලදිවයින් ජනාධිපති, ඊබ්‍රහිම් මොහොඩ් සෝලි මහතා හමුවන ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ඉන්දීය මූල්‍යාධාර යටතේ මාලදිවයිනේ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘතිවලට අත්සන් තැබීමට ද නියමිතයි. මීට අමතරව මාලදිවයින් වෙරළ ආශ්‍රිතව රේඩාර් නිරීක්ෂණ පද්ධතියක් හා මාලදිවයින් හමුදා පුහුණු මධ්‍යස්ථානයක් ද විවෘත කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහභාගි වනු ඇති. මාලදිවයින් රජය මගින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත නිෂානි ඉසුඩීන් නැමැති ගෞරව සම්මානය පුද කිරීමට නියමිත වේ. මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හෙට මෙරට සංචාරය කරනු ඇති. ආරක්ෂාව සම්බන්ධයෙන් මෙම සංචාරයේදී වැඩි අවධානයක් යොමුවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය අනාවරණ කළේ ය. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට සහයෝගිතාව දැක්වීමක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුව තමා මෙම සංචාරයේ නිරත වන බවත් ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ඉන්දියාව ශ්‍රී ලංකාව සමග සිටින බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබේ. මේ අතර ඉන්දීය විදේශ ලේකම් විජේ ගෝකලේ මහතා කියා සිටියේ, අන්තවාදී කණ්ඩායම්වලට මර්දනය කිරීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබාදෙන බවයි. කොළඹ වරාය පර්යන්ත ගිවිසුම වැනි බහු පාර්ශ්වික ආයෝජන ව්‍යාපෘති පිළිබඳව ද ඉන්දියාව අවධානය යොමු කරන බව ඉන්දීය විදේශ ලේකම්වරයා ප්‍රකාශ කර ඇත. තම ජාතික අභිලාෂයන් සහිත ව්‍යාපෘතිවලට ජපානය වැනි ප්‍රබල විදේශ ආයෝජකයින් සම්බන්ධ වන්නේ නම් ඊට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බව ද ඉන්දීය විදේශ ලේකම්වරයා පවසා ඇතැයි රොයිටර් පුවත් සේවය අනාවරණ කළේ ය. මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් හෙට කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.