අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු 10කට අධිචෝදනා...?

BREAKING : අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු 10කට අධිචෝදනා ගොනු කිරීමට නීතිපති අවසර ඉල්ලයි

by Staff writer 07-06-2019 | 4:00 PM
COLOMBO (News1st) : බැඳුම්කර වංචාවට අදාළව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා පර්පචුවෙල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුණ ඇලෝසියස් ඇතුළු 10 දෙනෙකුට එරෙහිව ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට තීරණය කර තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඊට අදාළව නීතිපතිවරයා, අගවිනිසුරුවරයාගෙන් අවසර ඉල්ලා ඇති බවයි. මොවුන්ට අමතරව තවත් විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධීචෝදනා ගොනුකිරීමට නියමිතයි. නඩුවේ ස්වභාවය, සංකීර්ණතාවය, බැරෑරුම්කම, මෙම වංචාවෙන් ආර්ථිකයට සිදුවූ අහිතකර බලපෑම මෙම නඩුවේදී සැලකිල්ලට ගැණෙන බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ  නිලධාරී, රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය ප්‍රකාශ කළා ය. 2015 ජනවාරි 27 වන දා බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් මිලියන දස දහස් පනස් අටක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර වංක ලෙස ව්‍යපහරණයට කුමන්ත්‍රණය කිරීම එක් චෝදනාවකි. මීට අමතරව ඊට අනුබල දීමෙන් පොදු දේපළ පනතේ පහ එක වගන්තිය යටතේ ගැනෙන සාවද්‍ය පරිහරණය කිරිමේ චෝදනාව ද සියලු ම විත්තිකරුවන්ට එල්ලවී තිබේ. රුපියල් බිලියන 10.08 වටිනා භාණ්ඩාගාර බැඳුම්කර බැහැර කිරිමට අදාළව පොදු දේපළ පනතේ සාපරාධී විශ්වාසය කඩ කිරීමෙන් රජයට රුපියල් මිලියන 688 කට අධික පාඩුවක් සිදුකිරිමේ චෝදනා අර්ජුන් මහේන්ද්‍රන්ට හා මහ බැංකුවේ හිටපු නියොජ්‍ය අධිපති පී.සමරවීර යන අයට චෝදනා එල්ලවී තිබේ. මොවුන්ට එරෙහිව ඇති අධි චෝදනා ගණන 23 කි. එහි සෙසු විත්තිකරුවන් වන්නේ, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම හා කසුන් ඕෂද පාලිසේන, ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස්, ඩි. මිත්‍ර ගුණවර්ධන, සී. රන්ජන් හුළුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්දියපුංචිහේවා යන අයයි. https://www.youtube.com/watch?v=yhcG4_3fXvg