පොලිස්පතිගේ පෙත්සම ලබන 24 යළි සළකා බැලීමට නියෝග

පොලිස්පති පුජිත් ජයසුන්දරගේ පෙත්සම ලබන 24 වැනිදා යළි සළකා බැලීමට නියෝග

by Staff writer 07-06-2019 | 1:33 PM
COLOMBO (News 1st): මේ වනවිට අනිවාර්ය නිවාඩු ගන්වා ඇති තමාව නැවත පොලිස්පති ධුරයට පත් කරන ලෙස ඉල්ලා පූජිත් ජයසුන්දර මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 24 වැනිදා යළි සළකා බැලීම සඳහා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය. පෙත්සම අද සළකා බැලුවේ බුවනෙක අලුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන හා එල්.ටී.බී. දෙහිදෙනිය යන විනිසුරු මඩුල්ල හමුවේදී ය. එහිදී නිතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ඉන්දිකා දෙව්මුණි මහත්මිය කරුණු දක්වමින් පෙත්සමේ ඇතැම් වගඋත්තරකරුවන්ට නොතිසි ලැබී නොමැති බව පෙන්වා දුන්නේය. එම කරුණු සළකා බැලු විනිසුරු මඩුල්ල සියලුම වගඋත්තරකරුවන්ට ලියාපදිංචි තැපෑලෙන් යළි නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසට පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළේය. එම මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ජුනි 12 වැනිදා දිනයෙන් පසු කැඳවීමට දිනයක් නියෝග කරන ලෙස ද අතිරේක සොලිස්ටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය. කෙසේ නමුත් මෙය සේවාදායකයාට ඉතා වැදගත් කරුණක් වන බැවින් ඉතා කෙටි දිනයකින් පෙත්සම කැඳවන ලෙස පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනි සිටි නීතිඥ විරාන් කොරයා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම කරුණු සළකා බැලූ විනිසුරුමඩුල්ල ලබන 24 වැනිදා පෙත්සම යළි කැඳවීමට නියෝග කළේය.