ශ්‍රී ලංකා - පකිස්ථාන තරගය අදයි

පකිස්ථානයට එරෙහිව ලෝක කුසලාන ජයක් බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකාව අද පිටියට

by Staff writer 07-06-2019 | 8:57 AM
COLOMBO (News 1st): ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර තරගය බ්‍රිස්ටල්හිදී අද පැවැත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගී වූ පළමු තරගයෙන් නවසීලන්තය හමුවේ පරාජය වුව ද, ඇෆ්ගනිස්ථානය සමග පැවැති දෙවැනි තරගයෙන් ජය ගැනීමට සමත් විය. ඒ, අනුව ඔවුන්ට තරගාවලියේ ලකුණු සටහනේ හිමිව ඇත්තේ 7 වැනි ස්ථානයයි. කුසල් ජනිත් පෙරේරා, ලහිරු තිරිමාන්න වැනි දක්ෂ පිතිකරුවන් රැසකගෙන් සමන්විත තම කණ්ඩායම පිළිබඳව සෑහීමකට පත්වෙන බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසයි. ඔහු ඒ බව පැවසුවේ අද තරගය පිළිබඳව ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ය. ශ්‍රී ලංකාව සහ පකිස්ථානය මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 153ක් පවත්වා ඇති අතර ඉන් තරග 58ක් ජය ගත්තේ ශ්‍රී ලංකාවයි. පකිස්ථානය තරග 90ක් ජය ගත් අතර ඉතිරි තරග 5 තීරණයකින් තොරව අවසන් විය. ශ්‍රී ලංකාව සහ පකිස්ථානය ලෝක කුසලානයේදී තරග 7ක් ක්‍රීඩා කර තිබේ. එම තරග 7ම ජයගෙන තිබෙන්නේ පකිස්ථානයයි. අද තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළහොත් එය ඔවුන් පකිස්ථානයට එරෙහිව ලෝක කුසලානයකදී ලබන පළමු ජය ලෙස ඉතිහාසයට එක්වනු ඇති. මේ අතර පකිස්ථානය තරගාවලියේ ලකුණු සටහනේ 8 වැනි ස්ථානයේ රැඳී සිටී. පකිස්ථාන පිතිකරු අංශය භාර පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් පවසන්නේ එංගලන්තය සමග පැවැති තරගය ජය ගැනීමෙන් අනතුරුව තම පිතිකරුවන්ට වැඩි පීඩනයක් එල්ල වී ඇති බව ය. ඒ, ලැබූ ජයග්‍රහණය තව දුරට ත් පවත්වා ගැනීමේ අභියෝගය හේතුවෙනි. අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිත ය.