සිම් 17400ක් සමග චීන ජාතිකයෙකු කොටු

සිම් 17,400ක් භාවිත කර IDD ඇමතුම් ගත් චීන ජාතිකයෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

by Staff writer 07-06-2019 | 3:16 PM
COLOMBO (News 1st): නීති විරෝධීව IDD දුරකථන ඇමතුම් ලබාගත් චීන ජාතිකයෙකු ඇතුළු තුන්දෙනෙකු මීගමුව, ඒත්තුකාල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත අද අලුයම අංක 17 සිල්වෙස්ටර් පාර ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කළ අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගත් බව ය. එහි තිබී අති නවීන ජංගම දුරකථන 402, සිම්පත් 17400 ක්, රවුටර් 60ක් ඇතුළු සන්නිවේදන උපකරණ රැසක් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව සහ කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර චීන ජාතිකයා වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඇති බව මූලික පරික්ෂණවලදී හෙළි වී තිබේ. මෙම සන්නිවේදන උපකරණ භාවිත කරමින් මොවුන් ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ලබා ගැනීමේදී වංචාවන් සිදුකළ බවට හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා එම ස්ථානයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නිලධාරීන් සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන් කැඳවා තිබේ. https://www.youtube.com/watch?v=okiXBlCiMtY