"බුද්ධි තොරතුරු අනාවරණ කිරීම අනුමත කරන්නෙ නැහැ"

සේවයේ නිරත කිසිදු ආරක්ෂක අංශ නිලධාරියෙක් තේරීම් කාරක සභාවට ඉදිරිපත් නොකරන බව ජනපති කියයි

by Staff writer 07-06-2019 | 9:00 PM
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු කාරක සභාවක් විසින් බුද්ධි අංශ නිලධාරීන් ගෙන්වා රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණය කරවීම තමා කිසිසේත් අනුමත නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා සඳහන් කළේ, දැනට සේවයේ නිරතව සිටින ආරක්ෂක අංශවලට අයත් කිසිදු නිලධාරියෙක් තේරීම් කාරක සභාවට ඉදිරිපත් නොකරන අතර එම සියලු දෙනා පිළිබඳ වගකීම තමා භාරගන්නා බවයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග අද පැවති මාසික රැස්වීමේදීයි. අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළ නඩු 05 ක් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනෙමින් පවතින අතර එවන් අවස්ථාවක තේරිම් කාරක සභාවක් පත් කර කටයුතු කිරීම එය ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාවලියට අහිතකර තත්ත්වයත් බව නීතිපතිවරයා තමා වෙත ලිඛිතව දන්වා ඇති බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපතිවරයා සඳහන් කළේ, තමා එය කථානායකවරයාට ඉදිරිපත් කළ අතර , එවන් ලිපි ලේඛන පාර්ලිමේන්තු ආරම්භයේදී සම්ප්‍රදායානුකූලව කථානායකවරයා විසින් ඉදිරිපත් කළ යුතුව ඇති නමුත්, කථානායකවරයා ඒ පිළිබදව කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීම කනගාටුවට කරුණක් බවයි.