කොදෙව්න්ට එරෙහි ජය ඔස්ට්‍රේලියාවට

ඔස්ට්‍රේලියාව ලෝක කුසලානයේ අඛණ්ඩ දෙවන ජයත් ලබයි

by Staff writer 07-06-2019 | 9:14 AM
(News 1st): ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු 15ක ජයක් වාර්තා කළේය. නොටිංහැම්හි ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ කඩුලු 6ක් ලකුණු 147කට දැවී ගියේය. අනතුරුව 7 වැනි කඩුල්ලට ස්ටීවන් ස්මිත් සහ නෙදන් කෝල්ටර් නයිල් එක්ව ලකුණු 102ක සබඳතාවක් ගොඩනැංවීමට සමත් විය. ස්මිත් ලකුනු 73 ක් රැස් කළ අතර වේගවත් පිතිහරඹයක නිරත වූ නෙදන් කෝල්ටර් නයිල් හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් ද සමගින් ලකුණු 92ක් රැස් කළේ, ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමිනි. කාලෝස් බ්‍රත්වෙයිට් ලකුණු 67 කට කඩුලු 3ක් දවා ගත්තේය. ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 49කදී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 288කි. බටහිර ඉන්දීය කොදෙව් පිළිතුරු ඉනිමේ තුන්වැනි කඩුල්ලට ශායි හෝප් සහ නිකලස් පූරන් ලකුණු 68ක සබඳතාවක් ගොඩනැංවීමට සමත් විය. හෝප් සහ ෂිම්රොන් හෙට්මයර් අතර බටහිර ඉන්දීය කොදෙව් සිව්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 50කි. හෝප් ලකුණු 68ක් ලබා ගත්තේය. නායක ජේසන් හෝල්ඩ් හතරේ පහර 7ක් සහ හයේ පහරක් ද සමගින් ලකුණු 51ක් රැස් කළේය. මිචෙල් ස්ටාර්ක් ලකුණු 46ට කඩුලු 5ක් දවා ගත් අතර ඔහු එක්දින තරගයකදී කඩුලු 5 සීමාව පසු කළ 6 වැනි අවස්ථාව මෙයයි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 273ක් පමණි. ඒ, අනුව සහභාගී වූ තරග 2ම ජය ගත් ඔස්ට්‍රේලියාව තරගාවලියේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එහි තුන්වැනි ස්ථානයට පත්ව තිබේ.