සහරාන්ගේ සහෝදරයින්ගේ සිරුරු යළි ගොඩ ගනී

Update: සයින්දමර්දුහි බෝම්බ පුපුරවාගත් පිරිසගේ සිරුර යළි ගොඩගනී

by Staff writer 07-06-2019 | 9:26 AM
Update 5.00PM - කල්මුණේ, සයින්දමරුදු ප්‍රදේශයේදී බෝම්බ පුපුරවාගනිමින් සියදිවි හානිකරගත් පිරිසකගේ සිරුරු අද නැවත ගොඩගැනිණ. ඒ එම සිරුරුවලින් ලබාගත් DNA සාම්පල දැඩි ලෙස හානිවීම හේතුවෙන් නව සාම්පල ලබාගැනීම සඳහායි. අප්‍රේල් 26 දින කල්මුනේ සයින්දමරුදු සුනාමි ගම්මානයේ නිවසක් වැටලීමට ආරක්ෂක අංශ කටයුතු කිරීමේදී එහි සිටි 15 දෙනෙක් බෝම්බ පුපුරවාගනිමින් සියදිවි හානිකරගත්හ. අනතුරුව ඔවුන්ගේ සිරුරු මිහිදන් කෙරුණේ අම්පාර පොදු සුසාන භූමියේයි. එලෙස මියගිය පුද්ගලයින්ගේ සිරුරුවල කොටස් රස පරීක්ෂක කාර්යාලය වෙත යවා තිබූ අතර, ඉන් සාම්පල 4ක් නරක් වී තිබීම හේතුවෙන් අද දින එම සිරුරු නැවත ගොඩගැණුනේ නව DNA සාම්පල ලබාගැනීම සඳහායි. අදාළ සිරුරු දැඩි ලෙස පිළිස්සී තිබීම නිසා එම සාම්පලවලට දැඩි හානි සිදුවී තිබූ බවත් ඒ අනුව අස්ථි කොටස්වලින් නව DNA සාම්පල ලබාගැනීමට අවශ්‍ය බව අම්පාර පොලිසිය විසින් කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දීමෙන් පසු මෙලෙස සිරුරු යළි ගොඩගැනීමට අධිකරණය අවසර ලබාදී තිබිණ. පොලීසිය සඳහන් කළේ, මියගිය එක දරුවෙකුගේ සහ තවත් පුද්ගලයින් තිදෙනෙකුගේ සිරුරු මෙලෙස ගොඩගැණුනු බවයි. අම්පාර මහේස්ත්‍රාත් අසංකා හෙට්ටිවත්ත මහත්මියගේ අධීක්ෂණය යටතේ‍ ත්‍රිකුණාමලය මහරෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුචිර නදීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදුවූ අතර අම්පාර පොදු සුසාන භූමිය හා ඒ අවට ප්‍රදේශයට ද දැඩි පොලිස් ආරක්ෂාවක් ද ලබාදී තිබිණ. මේ අතර අප්‍රේල් 21 ප්‍රහාරයේ සැලසුම්කරු වූ මොහොමඩ් සහරාන්ගේ DNA සාම්පල එදින බෝම්බ පුපුරවාගැනීමෙන් දිවි බේරාගත් ඔහුගේ භාර්යාව හා දියණියගේ DNA සමග සැසඳෙන බවට රජයේ රස පරීක්ෂක විසින් තහවුරු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුගිය මැයි 21 වැනිදා මාධ්‍යට ප්‍රකාශ කළේ ය. =============================================================================== COLOMBO (News 1st): අම්පාර, සයින්දමර්දුහිදී බෝම්බ පුපුරුවාගෙන මියගිය මොහොමඩ් සහරාන්ගේ සහෝදරයින්ගේ සිරුරු අද යළි ගොඩ ගැනීමට නියමිත ය. පොලීසිය සඳහන් කළේ, එම සිරුරු අම්පාර පොදු සුසාන භූමියේ පසුගියදා වළ දැමූ බව ය. අප්‍රේල් 26 වෙනි දින බෝම්බ පුපුරුවාගෙන මියගොස් සිටි මෙම පිරිසගේ සිරුරුවල කොටස් මීට පෙර රස පරීක්ෂක කාර්යාලය වෙත යවා තිබුණි. ඉන් සාම්පල් හතරක් නරක් වී තිබීම නිසා සිරුරු ගොඩගෙන ශරීර කොටස් නැවත රස පරීක්ෂක වෙත යැවීමට කටයුතු කරන බව ද පොලිසිය ප්‍රකාශ කළේය. ඔවුන්ගේ මළ සිරුරු ගොඩ ගැනීම සඳහා කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ගෙන ඇති අතර, අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අද එය සිදු කිරීමට නියමිත ය.