නිරිත දිග කොටසේ වැසි හා සුළං තත්ත්වයේ වැඩි වීමක්

අද සිට ඉරිදා දක්වා දිවයිනේ නිරිත දිග කොටසේ වැසි හා සුළං තත්ත්වයේ වැඩි වීමක්

by Staff writer 07-06-2019 | 11:31 AM
COLOMBO (News 1st): අද සිට ඉරිදා දක්වා දිවයිනේ නිරිත දිග කොටසේ වැසි හා සුළං තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තද වැසි පිළිබද රතු නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කළුතර, රත්නපුර, ගාල්ල, මාතර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට මිලිමීටර් 150 ත් 200 ත් අතර ඉතා තද වැසි ඇතිවිය හැකි බව ය. කොළඹ, ගම්පහ, පුත්තලම, මහනුවර, නුවරඑළිය, හම්බන්තොට සහ මන්නාරම දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ත් 150 ත් අතර තද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ. එහි දැක්වෙන්නේ ඌව පළාතෙත්, කුරුණෑගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව ය. දිවයින හරහා විශේෂයෙන් මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ත් ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ත් විටින් විට හමන පැයට කිලෝමිටර් 40 ත් 50 ත් අතර දක්වා වන තරමක තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේය.