අධිවේගී සපත්තු මගඩියේ තවත් තතු හෙළිවෙයි

සේවක සපත්තුවෙනුත් ගසා කෑ අධිවේගී ලොක්කන්ගේ වැඩ විගණනයෙනු ත් හෙළිවෙයි

by Sagarika Chathumali 06-06-2019 | 12:51 PM

COLOMBO (News 1st) : "දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවකයින්ට ලබා දුන් පාවහන් පැළඳ, දින කිහිපයක් ඇතුළත කැඩී ගොස් ඇතැම් පාවහන් පළුඳු වෙයි..."

  අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකය සිය සේවකයින් අතරේ බෙදා දුන් පාවහන් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන රු. ලක්ෂ 37ක වංචාව දැන් සැඟවීමට නොහැකි වූ තැනක් කරා පැමිණ ඇත. ඒ, නිල ඇඳුම සමග බෙදා දෙන පාවහන් යුගළ 1,300ක් සම්බන්ධයෙන් සේවකයින් කළ චෝදනාව සනාථ කෙරෙන කරුණු මේ වනවිට  ජාතික විගණන කාර්යාලය විසින් සිදුකරනු ලැබූ විගණන විමසුමෙන් ද හෙළිදරව් වෙමින් පවතීම තුළයි. 2018 වසරේදී එලෙස සේවකයින්ට බෙදා දී තිබුණේ, 2017 වසර වෙනුවෙන් බෙදා දීමට නියමිතව තිබූ පාවහන් ය. පාවහන් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියවලිය, තාක්ෂණික ඇඟයීම් කමිටුවේ ක්‍රියාකාරීත්වය මෙන්ම පිරිවිතරයන්ට එකඟ නොවන පාවහන් සැපයීමේදී ආයතන කළමනාකාරීත්වය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම යන කරුණු කිහිපයක් මෙම විගණන විමසුමේදී නිරීක්ෂණය කර තිබේ. පාවහන් යුගළ ලබාදීමේදී අධ්‍යක්ෂ මණ්ඩල තීරණය සඳහා රේඛීය අමාත්‍යංශ ලේකම්ගේ හෝ අනුමැතිය ලබා ගැනීමක් සිදු කර නොතිබීම තුළ ප්‍රසම්පාදනය සඳහා බලය හිමිවූ ආකාරය ගැටලුසහගත බවට ද අදාළ  විගණන විමර්ශනයේදී තවදුරටත් කරුණු අනාවරණ වී ඇත. තව ද අධිවේගී මාර්ග නඩත්තු කළමනාකරණ අංශය සිය සේවකයින්ට 2017 වසරේ ලබාදීමට නියමිත පාවහන් මිලදී ගැනීමට අදාළ මෙම ප්‍රසම්පාදනය සිදුකර ඇත්තේ, 2017 වසරේ සැප්තැම්බර් මාසයේදී වන අතර සේවකයින් අතරේ බෙදා දීම සඳහා අදාළ පාවහන් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලැබී ඇත්තේ, 2018 පෙබරවාරි මාසයේදීයි. 2017 වසරේදී පැළඳීමට අවශ්‍ය පාවහන් සඳහා ප්‍රසම්පාදන කටයුතු සිදුවී ඇත්තේ, වසරින් අඩක් ම ගෙවී ගිය පසු ව වීම හාස්‍යයජනක ය. සාමාන්‍ය ක්‍රමවේදය අනුව අදාළ පිරිවිතරයන් භාවිත කරන පාර්ශවය විසින් තීරණය කොට තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් ඇගයීමට ලක්කරනු ලැබීම වුව ද මෙම ප්‍රසම්පාදන කටයුත්තේදී මිල කැඳවීම් සිදුකරන දිනය වන විටත් තාක්ෂණික ඇගයුම් කමිටුව ක්‍රියාත්මක වී නොතිබීම තුළ පහැදිලි වන්නේ, මෙම ප්‍රසම්පාදනයේදී අක්‍රමිකතාවක් සිදුව ඇති බවයි. මෙම බාල සපත්තු මිලදී ගැනීමට නිර්දේශ ඉදිරිපත් කළ තාක්ෂණික කමිටුවේ සියලු සමාජිකයන් සමග ගොස් තාක්ෂණික කමිටු සභාපති පැළඳ සිටි මෙම තොගයට අයත් පාවහන් යුගළ ලෙදර් නොව බාල ගනයේ පාවහන් බව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සම්භාණ්ඩ අංශය කළ පරීක්ෂාවේදී  තහවුරු වී ඇත. 2018 වසරේදී අදාළ සැපයුම්කරු විසින් සපයනු ලැබූ පාවහන් යුගළ දෝෂ සහිත බව දැන ගැනීමෙන් පසුව ත් එකී සැපයුම ප්‍රතික්ෂේප නොකර කළමනාකාරීත්වය අදාළ සැපයුම්කරු ලවා ම ඒවායේ දෝෂ නිදොස් කර ගැනීමට උත්සාහ කළේ මන් ද යන්න ප්‍රශ්නාර්ථයකි. මේ අතර අලුත්වැඩියා කළ බව පවසමින් දෙවන වර එක් එක් සේවකයන්ගේ සපත්තු මාරු කර බෙදා හැරීමෙන් ඇතැම් සේවකයින්ට සෞඛ්‍ය ගැටලුවලට පවා මුහුණදීමට සිදුව තිබේ. එහෙත් එම අවස්ථාවේ සේවකයින්ට පාලනාධිකාරිය බලහත්කාරයෙන් සපත්තු බෙදාදීම සිදු කළ බවට සමස්ත ලංකා අධිවේගී මාර්ග සේවක සංගමය මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වෙත පවා පැමිණිලි කර ඇත. මේ අතර පසුගිය පෙබරවාරී මාසයේදී  ජාතික විගණන කාර්යාලය අධිවේගී මාර්ග බලධාරීන්ට දැනුම්දී ඇත්තේ, අදාළ ප්‍රසම්පාදනය සඳහා බලය ලබා දීම ඇතුළු කටයුතු රැසක් සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී තත්ත්වයන්ට අදාළව සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කරන ලෙසයි. ජාතික විගණන කාර්යාලයේ අදාළ දැනුම්දීම සිදුකර තෙමසක් ඉක්ම ගොස් තිබුණ ද මේ වන තෙක් අදාළ කරුණු ඉදිරිපත් කිරීමක් සිදු කර නොමැත. තව ද 1300ක් තරම් වූ පාවහන් සංඛ්‍යාවක් මිලදී ගැනීම සඳහා අනුමැතිය ලබා දෙන තාක්ෂණික ඇගයුම් කමිටුවේ නිලධාරීන් සතු වගකීම සහ කාර්යභාරය සම්බන්ධයෙන් ද නිලධාරීන්ට නිසි දැනුමක් තිබී නොමැති බවට විගණනය හරහා හෙළිදරව් වීම තුළ කියවෙන්නේ, මෙය අක්‍රමිකතාවක් සඳහා අරඇදීමක් බව නොවේ ද? මෙම ගනුදෙනුවට අදාළ විගණනය තුළින් විගණන නිලධාරීන් ප්‍රකාශ කර සිටින්නේ, අධිකාරියට මින් හිමිවීමට තිබූ ආර්ථික වාසි අහිමිව ගොස් ඇති බවයි.

එසේ නම් එහි ආර්ථික වාසි හිමි වූයේ කාට ද?

සීතල කාමර තුළ සිට සැප විඳිමින් මහමගට බැස ගිනිඅව්වේ සේවා සපයන තම සේවකයාට බෙදා දීමට ඇති සප්පත්තුවෙන් පවා ගසා කන්නට තරම් පහත් තැනට වැටුණු ආයතන, වගකිවයුත්තන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු නොවේ ද?   පෙර පුවතට පහතින් පිවිසෙන්න...

*සපත්තුවෙනුත් ගසා කෑමට සැරසුණු අධිවේගී මගඩියේ අලුත් ම හෙළිදරව්ව