මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියරේ ඉදිකිරීම්වලින් ජපාන සමාගම ඉවත්වීමේ අවදානමක්

by Staff writer 06-06-2019 | 9:18 PM

COLOMBO (News 1st) - මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබඳව අප පසුගිය දිනවල අවස්ථා ගණනාවකදී අනාවරණ රැසක් සිදු කළෙමු.

මේ වනවිට මාර්ගයේ සිව්වන අදියර ගෂුබා නැමති චීන සමාගමකට ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. සිව්වන අදියරට කැබිනට් අනුමැතිය ලැබුනත් මාර්ගයේ පළමු හා තෙවන කොටස්වල ඉදිකිරීම් මේ වනවිට මුහුණදී ඇත්තේ බරපතළ අර්බුදයකටයි. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කර මේ වනවිට වසර 4 ක් ගත වී තිබේ. කඩවත සිට මීරිගම දක්වා පළමු කොටසත්, මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන කොටසත් පොතුහැර සිට ගලගෙදර දක්වා තෙවන කොටසත් වෙන් වෙන්ව ඉදිකිරීම මූලික සැලැස්මයි. මධ්‍යම අධිවේගී මාර්ගයේ සිව්වන කොටස කුරුණෑගල සිට දඹුල්ල දක්වා ඉදිකිරීමට සැලසුම් කර තිබේ. පළමු කොටසවන කඩවත සිට මීරිගම දක්වා ඉදිකිරීම් චීනයට ලබාදීමට සැලසුම් කළේ, දෙරට අතර ඇතිකරගත් එකඟතාවක් මතයි. නමුත් ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් අපේක්ෂා කළ ණය මුදල තවමත් ලැබී නැත. ඩොලර් බිලියනක ණය මුදලක් ලබාදීමට ඔවුන් එකඟවී ඇතත් එය ලබා ගැනීමට පෙර 15% ක අත්තිකාරම් මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා රජයට සිදුව තිබේ. මහාමාර්ග අමාත්‍යංශය ප්‍රකාශ කළේ, එම මුදල ගෙවීම සඳහා මේවනවිට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට සුදානම්වන බවයි. පළමු අදියර තවදුරටත් ප්‍රමාදවෙමින් තිබියදී මධ්‍යම අධිවේගී මාර්ගයේ සිව්වන අදියර චීන සමාගමක් වෙත ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත. මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවනි අදියරේ ඉදිකිරීම් දේශීය සමාගම් කිහිපයක් මගින් සිදු කරගෙන යන්නේ දේශීය බැංකුවලින් ලබාගත් ණය මුදලකිනි. මීරිගම සිට කුරුණැගල දක්වා මෙම කොටසේ ඉදිකිරීම් අවසන් වෙමින් ඇතත් එය ද අර්බුදයකට මුහුණදී තිබේ. ඒ, පොතුහැර අන්තර් හුවමාරුව ඉදිකිරීම සම්බන්ධයෙක් ඇති වූ අර්බුදයක් හේතුවෙනි. එම අන්තර් හුවමාරුව තෙවන අදියරේ ඉදිකිරීම්වලට ඇතුළත් ය. ඒ අනුව එම ඉදිකිරීම් පැවරී තිබුනේ ජපානයේ තයිසේ සමාගමටයි. නමුත් කඩිනමින් පොතුහැර අන්තර් හුවමාරුව ඉදිකිරීමේ අවශ්‍යතාව මත එය ශ්‍රී ලංකා රජය විසින් දෙවන අදියර යටතේ සිදුකිරීම සඳහා කැබිනට් මණ්ඩලයට පසුගිය සතියේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කළේ ය. එහෙත් එය සති දෙකකින් කල් දමා ඇති අතර වාරයේ විෂයය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කබීර් හෂීම් මහතා පසුගිය දා ධුරයෙන් ඉල්ලා අස්විය. මේ අතර පොතුහැර අන්තර් හුවමාරුව තෙවන අදියරෙන් ඉවත් කර ශ්‍රී ලංකා රජයට පවරා ගන්නේ නම් ව්‍යපෘතියෙන් ඉවත්වන බවට ජපානයේ තයිසේ සමාගම අනතුරු අඟවා ඇත. තෙවන අදියර යටතේ මෙම අන්තර් හුවමාරුව ඉදිකළ හොත් දෙවන අදියරේ ඉදිකිරීම් අවසන් කිරීමට තව ත් වසර දෙකක් පමණ ගතවනු ඇති. මේ අනුව මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු සහ තෙවන අදියර මේ වනවිට බරපතළ අර්බුදයකට මුහුණදී සිටිනු ඇත.