ද. අප්‍රිකාවට එරෙහිව ඉන්දියාවට කඩුලු 6ක ජයක්

ද. අප්‍රිකාවට එරෙහිව ඉන්දියාවට කඩුලු 6ක ජයක්

by Staff writer 06-06-2019 | 6:51 AM
COLOMBO (News 1st) : ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සමග පැවති තරගයෙන් ඉන්දීය කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කළේ ය. ඉන්දීය කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගී වූ පළමු තරගය මෙයයි. සවුත්තැම්ප්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විණ. 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගය වු මෙහි කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාව තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි. ක්වින්ටන් ඩී කොක් සහ හෂීම් අම්ලා දකුණු අප්‍රිකා ඉනිම ආරම්භ කළ අතර ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 11දී බිඳ වැටිණ. අම්ලා ලකුණු 6කට පිටියෙන් ඉවත් වූයේ ජස්ප්‍රිට් බුම්රාගේ පන්දුවක් හමුවේයි. ක්වින්ටන් ඩී. කොක් ලකුණු 10කට දවා ගැනීමට නැවතත් ක්‍රියාත්මක වූ බුම්රා සමත් විය. නායක ෆෆ් ඩු ප්ලෙසිස් සහ රසී වැන්ඩර් ඩසෙන් අතර තුන්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 54යි. රසී වැන්ඩර් ඩසෙන් ලකුණු 22කට දැවී ගිය අතර ඩු ප්ලෙසිස්ට රැස් කළ හැකි වූයේ, ලකුණු 38ක් පමණි. ජේ.පී ඩුමිනි ලකුණු 3කට දැවී ගියේ ය. ඩේවිඩ් මිලර් සහ ඇන්ඩිල් ෆිලෙක්වායෝ අතර 6වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 46ක් වූ අතර මිලර් ලකුණු 31ක් රැස් කළේ ය. ඇන්ඩිල් ෆිලෙක්වායෝ ලකුණු 34ක් රැස් කළ අතර ක්‍රිස් මොරිස් පන්දු 34කින් ලකුණු 42ක් රැස් කළේ, 6 පහර 2ක් සහ 4 පහරක් ද සමගිනි. යුස්වෙන්ද්‍ර චහල් ලකුණු 51ට කඩුලු 4ක් දවා ගත්තේ ය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 227කි. ශිකර් ධවාන් සහ රෝහිත් ශර්මා ඉන්දීය පිළිතුරු ඉනිම ආරම්භ කළේ ය. ධවාන්ට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 8ක් පමණි. නායක විරාත් කෝලි ලකුණු 18කට පිටියෙන් ඉවත් විය. ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා සමග එක් වූ ලෝකේෂ් රාහුල් (26) ඉන්දීය තුන්වැනි කඩුල්ලට ලකුණු 85ක සබදතාවක් ගොඩනැගූහ. ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රෝහිත් ශර්මා 23 වැනි එක්දින ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 122ක් රැස් කළේ ය. 4 පහර 13ක් සහ 6 පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත් ය. මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 34ක් රැස් කළේ ය. කගීසෝ රබාඩා ලකුණු 39ට කඩුලු 4ක් දවා ගත්තේ ය. ඉන්දීය කණ්ඩායම තරගය ජය ගත්තේ, පන්දුවාර 47යි පන්දු 3කදී කඩුලු 3ක් දැවී සිටියදීයි. ඒ අනුව තරගාවලියේ ලකුණු සටහනේ පස්වැනි ස්ථානය ඉන්දීය කණ්ඩායමට හිමි විය. දකුණු අප්‍රිකාව එහි රැඳී සිටින්නේ 9 වැනි ස්ථානයේයි.