මේ, සංවර්ධනය ද?

මේ, සංවර්ධනය ද?

by Staff writer 05-06-2019 | 12:38 PM

COLOMBO (News 1st) – ගමන අඩාළව අරමුණෙහි අතරමං වෙමින්, ජනතාව ද අනාථ කරන, සංවර්ධන ව්‍යාපෘති..

ප්‍රමුඛතාවය දියයුතු සංවර්ධන වැඩකටයුතු දිවයිනේ කොතෙකුත් තිබිය දී, සියල්ලට වඩා කඩිමුඩියේ වැඩ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘතියක් වන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයයි. ඉන් දේශපාලන අධිකාරය බලාපොරොත්තු වූ මුඛ්‍ය අරමුණ පවා අද ඇත්තේ අතරමං වූ ලෙසකින්.. ඇතැම් කොටස් අඩාළ වෙමින්, අධිවේගී මාර්ගය ඉදිකිරීමේ ගමන මන්දගාමී වූව ද, මෙම ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු හේතුවෙන් සිදුවූ හානිය, ශීඝ්‍රගාමීව ජනතාවට දැනෙමින් පවතී. ඉන් එක් දුර්විපාකයක් වාර්තා වන්නේ කුරුණෑගල මල්ලවපිටියෙන්. කුරුණෑගල මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක, කැලෑ සහිත කඳු,  මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියට අදාළ සංවර්ධන කටයුතු සඳහා කැපීම නිසා, ප්‍රදේශ රැසක ජනතාව මේ වන විට පීඩාවට පත්ව ඇත. වසර ගණනක් පැරණි ජල පෝෂකයන් වන මේ කඳු ආශ්‍රිත ප්‍රෙද්ශ මේ දිනවල මාර්ග සංවර්ධනය සඳහා සූදානම් කෙරෙමින් පවතින බව අප වාර්තාකරු සඳහන් කළා. පෝෂක ප්‍රෙද්ශ විනාශ වීමෙන් සිදුව ඇත්තේ ජනතාවට ජල හිඟයකට මුහුණ දීමට සිදුවීමටයි. එසේ නම් සිදුකිරීමට යෝජිත මේ සංවර්ධනය, කවුරුන් උදෙසා ද.? සංවර්ධනය මිනිසුන්ගේ අනාගතය සමෘද්ධිමත් කිරීම සඳහා විය යුතු නොවේ ද? නමුත් එමගින් විඳ ගැනීමට ලැබෙන්නේ යහපත් ප්‍රතිලාභවලට වඩා දුර්විපාක නම්...? වනාන්තර එළි කරමින් කඳු කැපීම නිසා නැගෙනහිර කෝරළේ, ඉහළ තලම් පිටිය , තලම්පිටිය, මහගම, කුඹුම්බුව, කොහිලේගෙදර ,මලගනේ, ඇලිවලතැන්න, බුලුගොල්ල, ගල්කඩේ යන ප්‍රදේශ වල පවුල් දහසක් පමණ ජලය නොමැති ව පීඩාවට පත්ව ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා. මීට වසර එක හමාරකට පමණ පෙර එම ප්‍රදේශයේ මෙම කඳු කැපීම ආරම්භ වී ඇති අතර අද වන විට වැරැල්ලගොල්ල කන්ද, කුදුම්බුව කන්ද, පලාගල කන්ද වැනි කඳු සියල්ල සමතලා වෙමින් පවතින්නේ සොබාදහමට අසීමාන්තිකව අභියෝග කරමින්. මෙම ක්‍රියාවලියෙන් සිදු වන්නේ කඳු වල ඇති ජල පෝෂක වනාන්තර ද සම්පූර්ණයෙන්ම අහිමි වීමයි. මෙම ප්‍රදේශයට ජලය නොමැති වීම හේතුවෙන් ප්‍රදේශයේ කුඹුරු අක්කර සිය ගණනක් මෙම කන්නයේදී අස්වැද්දීමට නොහැකි වී ඇති අතර ප්‍රදේශයේ ළිං බොහෝමයක් ද සිදී ගොස් අවසන්. මේ හේතුවෙන් ප්‍රදේශ වාසීන්ට ජලය සොයා බොහෝ දුර යාමට සිදුව ඇත. ඇතැම් විට එය කිලෝ මීටර් 5ක්. ඇතැම් විට ප්‍රෙද්ශය අනුව, එම දුර ඊටත් වඩා වැඩිවිය හැකියි. දැදුරු ඔය ජලාශය පෝෂණය කරන මූලාශ්‍ර අතුරින් සුවිශේෂී ස්ථානයක් හිමි වන මගුරු ඔය ආරම්භ වන්නේ ද මෙම කඳු සහිත ප්‍රදේශයෙන්. අද වන විට මෙම ඔය ද සම්පූර්ණයෙන් ම සිදී ගොස් ඇති බව අප වාර්තාකරු සදහන් කළා. ප්‍රෙද්ශයේ වැඩිහිටියන් පෙන්වා දෙන්නේ මෙවැන්නක් සිදුව ඇත්තේ වසර ගණනාවකට පසුව බවයි. අදාළ ගැටළු සඳහා කඩිනමින් මැදිහත් වී මෙම ජාතික ව්‍යසනය නතර කරන දෙන ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.