ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

ප්‍රදීප් සහ මාලිංග ඇෆ්ගනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

by Staff writer 05-06-2019 | 7:57 AM
කුසල් ජනිත් පෙරේරාගේ සටන්කාමී ඉනිම ත්, වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා ත් හේතුවෙන් ඇෆ්ගනිස්ථානය සමග පැවති මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හත්වන තරගයෙන් ඩක්වර්ත් හා ලුවිස් න්‍යායට අනුව ලකුණු 34ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙය ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ ලැබූ පළමු ජයග්‍රහණය ද වේ. කාර්ඩිෆ්හී සොෆියා ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ඒ, අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් නායක දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා පිටියට පිවිසුණු අතර ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සබඳතාව ලකුණු 92කි. නායක දිමුත් කරුණාරත්න ලකුණු 30කට දැවී ගිය අතර අනතුරුව පිටියට පිවිසි ලහිරු තිරිමාන්න ලකුණු 25 කට දැවී ගියේය. කෙසේ වෙතත් මැද පෙළ නියෝජනය කරමින් පිටියට පිවිසි ධනංජය ද සිල්වාට , ඇන්⁣ජලෝ මැතිව්ස්ට ,කුසල් මෙන්ඩිස්ට සහ තිසර පෙරේරාට සිය වගකීම කණ්ඩායම වෙනුවෙන් ඉටු කිරීමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ. කුසල් මෙන්ඩිස් සහ තිසර පෙරේරා ලකුණු 2 කටත් , ඇන්ජලෝ මැතිව්ස් සහා ධනංජය ද සිල්වා ලකුණු ලබා ගැනීමට පෙරත් ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් ජනිත් පෙරේරා සිය එක්දින දිවියේ 12 වන අර්ධ ශතකය වාර්තා කරමින් රැස් කළ ලකුණු ගණන 78කි. පන්දුවාර 33 ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 182 ක් රැස් කරගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර නැවතත් තරගය ආරම්භ වූයේ එක් කණ්ඩායමකට පන්දුවාර 41 ක් බැගින් වූ තරගයක් ලෙස ය. කෙසේ වෙතත් පන්දුවාර 36යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළේ ලකුණු 201ක් පමණි. නොදැවී කඩුල්ලේ රැඳී සිටි සුරංග ලක්මාල් ලකුණු 15 ක් රැස් කරගෙන සිටි අතර පන්දු යැවීමේදී මොහොමඩ් නබී කඩුලු 4ක් දවා ගත් අතර දවාලට් සඩ්රන් සහා රශීඩ් ඛාන් කඩුලු 2 බැගින් දවා ගත්තේය. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 201ක් රැස් කළත් වර්ෂාව හේතුවෙන් අහිමි වූ පන්දුවාර ප්‍රමාණය ද සැළකිල්ලට ගනිමින් ඩක්වර්ත් හා ලුවිස් න්‍යාය මත කරන ලද ගණනය කිරීමේ දී ඇෆ්ගනිස්ථානයට ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය වූයේ ලකුණු 187ක් පමණි. එම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 34කට සීමා කිරීමට ලසිත් මාලිංග සමත් විය. එම කඩුල්ලත් සමගින් එක්දින ජාත්‍යන්තර තරගවල ලොව වැඩිම කඩුලු ලාභින් අතර 10 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සමත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගවලදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නන් අතර තෙවන ස්ථානය ද ඔහුට හිමිවේ. ඇෆ්ගනිස්ථාන ඉනිමේ මුල් පෙල කඩුලු 5 ලකුණු 57 ක් තුළ බිඳ දැමීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් සමත් විය. කෙසේ වෙතත් අනතුරුව පිටියට පිවිසි නායක ගුලාබ්ඩීන් නයිබ් සහ නජිබුල්ලා සඩ්රන් ඇෆ්ගනිස්ථාන ඉනිමේ 6 වන කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 67කි. ගුලාබ්ඩීන් නයිබ් ලකුණු 23 කට දැවී ගිය අතර නජිබුල්ලා සඩ්රන් ලකුණු 43කට දැවී ගියේය. ජයග්‍රහණය සඳහා ලකුණු 187ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 32යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 152 ක් පමණි. පන්දු යැවීමේදී නුවන් ප්‍රදීප් ලකුණු 31කට කඩුලු 4 ක් දවා ගත් අතර ලසිත් මාලිංග ලකුණු 39කට කඩුලු 3ක් දවා ගත්තේය. මෙම ජයග්‍රහණයත් සමගින් මෙවර ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ 6වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඇෆ්ගනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ මෙම තරග ජයග්‍රහණය, ලසිත් මාලිංග දින 698 කට පසුව ලැබූ පළමු ජාත්‍යන්තර එක්දින තරග ජයග්‍රහණය වීම ද විශේෂත්වයකි. මීට පෙර ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ එක්දින තරග 21ක් පරාජයට පත්ව තිබූ අතර, එක් තරගයක් ජය පරාජයකින් තොරව අවසන්ව තිබුණි. මාලිංග අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර තරගයක් ජය ගෙන තිබුණේ 2017 වසරේ ජූලි 6 වනදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි.