මහින්දානන්ද අලුත්ගමගේට විදෙස්ගත වීමට අවසර

මහින්දානන්ද අලුත්ගමගේට විදෙස් ගතවීම වළක්වමින් පනවා තිබූ තහනම ඉවතට

by Staff writer 04-06-2019 | 5:22 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට විදෙස් ගතවීම වළක්වමින් පනවා තිබු නියෝගය අද ඉවත් කර තිබේ.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා හමුවේ ඔහුට එරෙහි නඩුව අද කැඳ වූ අවස්ථාවේදී යි. ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය යන වෘත්තිය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය සාපරාධි විශ්වාසය කඩ කිරීම ඇතුළු අධිචෝදනා යටතේ, නීතිපතිවරයා විසින් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මෙම නඩුව පවරා ඇත. අද දින නඩුව කැඳ වූ අවස්ථාවේදී පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු වන කහවලගේ ඩග්ලස් නැමැත්තාගේ සාක්ෂිය නැවත කැඳවන ලෙසට විත්ති පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. ඒ පිළිබඳ නියෝගය ලබන මස 25 වන දා නිකුත් කිරීමට නියමිත වේ.