by Staff writer 04-06-2019 | 11:11 AM
COLOMBO (News 1st) : ඉදිරියේදී ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට තිරසර පිළියම් සෙවීමට මේ වනවිට රජයේ අවධානය යොමුවී ඇතැයි, විදුලි බල අමාත්‍යංශය පවසයි.
රාජ්‍ය ආයතනයන්හි බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය වෙනුවෙන් නව චක්‍ර ලේඛයක් නිකුත් කර, ඒ අනුව බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය පිළිබදව ජාතික වැඩසටහන හඳුන්වාදීමට නියමිතයි.
රාජ්‍ය සේවයකයන් තුළ ඒ පිළිබඳව පෙළඹවීමක් මෙන්ම යොමුකරවීමක් සිදු කිරීමට ද රජය විසින් පියවර ගෙන තිබේ.
ජනාධිපති කාර්යාලය සහ ශ්‍රී ලංකා සුනිතය බලශක්ති අධිකාරිය එක්ව දියත් කරනු ලබන මෙම ක්‍රියාවලිය සඳහා සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සහභාගී කරගැනීමට නියමිතයි.
ඉහත සඳහන් සෑම ආයතනයක් තුළම බලශක්ති කළමණාකරුවෙකු පත්කර, ඔහුගේ සහාය වෙනුවෙන් බලශක්ති සංරක්ෂණ කමිටු පිහිටුවීමට පියවර ගෙන තිබේ.
මෙම කමිටුව මගින් තම ආයතනය තුළ බලශක්තිය පරිහරණය කරන ආකාරය පිළිබදව සොයා බලා, කාර්යක්ෂම භාවිතයක් සහ සංරක්ෂණයක් වෙනුවෙන් තම ආයතනය හැඬගැස්වීම කරනු ලබනු ඇති.
මෙම වැඩසටහන තුළින් වාර්ෂිකව ගිගාවොට් පැය 300 ක බලශක්තියක් ඉතිරි කරගැනීමට අපේක්ෂිත අතර එය ශ්‍රී ලංකාවේ දින දහයක සමස්ත විදුලිබල ඉල්ලුමට සමාන බව විදුලි බල අමාත්‍යංශය සඳහන් කළේ ය.
මෙම ජාතික වැඩසටහන යටතේ බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය තුළින් සියලුම රජයේ කාර්යාලවල පෙර වර්ෂයට සාපේක්ෂව 10% කින් විදුලිය සහ ඉන්ධන පරිභෝජනය අඩුකර ගැනීම ඉලක්ක කර තිබේ.