එංගලන්තය පරදා පකිස්ථානයට ලකුණු 14ක ජයක්

එංගලන්තය සමග පැවති තරගයෙන් පකිස්ථානයට ලකුණු 14ක ජයක්

by Staff writer 04-06-2019 | 7:21 AM
COLOMBO (News 1st) : මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රබල එංගලන්ත කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 14 ක ජයක් වාර්තා කිරීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය. කාසිය වාසිය දිනා ගත් එංගලන්ත නායක ඔයින් මෝගන්ගේ ආරාධනයට අනුව ඉමාම් උල් හක් සහා ෆකර් සමාන් රගයේ පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා පාකිස්ථාන ඉණිම ආරම්භ කරමින් පිටියට පිවිසියහ. ඔවුන් දෙදෙනා පාකිස්ථාන පළමු කඩුල්ලට ලකුණු 82 ක සබඳතාවක් ගොඩනැගූ අතර ෆකර් සමාන් ලකුණු 36 කට සහා ඉමාම් උක් හක් ලකුණු 44 කට දැවී ගියහ. එක්දින දිවියේ 13 වන අර්ධ ශතකය වාර්තා කළ බාබර් අසාම් ලකුණු 63 ක් රැස් කළ අතර එක්දින දිවියේ 38 වන අර්ධ ශතකය වාර්තා කළ මොහොමඩ් හෆීස් රැස් කළ ලකුණු සංඛ්‍යාව 84 කි. සිය 11 වන එක්දින අර්ධ ශතකය වාර්තා කළ නායක සෆ්රාස් අහමඩ් ලකුණු 55 ක් රැස් කළ අතර අසිෆ් අලී ලකුණු 14 ක් රැස් කළේ ය. පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කරගත් ලකුණු සංඛයාව 348 කි. එය වාර්තා අතරට එක්වුණේ, පාකිස්ථාන කණ්ඩායම ලෝක කුසලාන ඉතිහාසයේ තරගයක රැස් කළ ඉහළම ලකුණු සංඛයාව ලෙසයි. පන්දු යැවීමේදී ක්‍රිස් වෝක්ස් සහා මොයින් අලී කඩුලු 3 බැගින් දවා ගත් අතර මාක් වුඩ් කඩුලු 2 ක් දවා ගත්හ. අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 349 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 3 බිඳ වැටුණේ, ලකුණු 86 ක් තුළදීයී. ජොනි බෙයාර්ස්ටෝ ලකුණු 32 ක් රැස් කළේ ය. කෙසේ වෙතත් අනතුරුව පිටියේ ස්ථාවර වූ ජෝ රූට් සහා ජෝස් බට්ලර් එංගලන්ත ඉණිමේ පස්වන කඩුල්ලට ගොඩනැගු සබඳතාව ලකුණු 130කි. මෙවර ලෝක කුසලානයේ පළමු ශතකය වාර්තා කළ ජෝ රූට් සිය එක්දින දිවියේ 15 වන ශතකය වාර්තා කරමින් රැස් කළ ලකුණු සංඛයාව 107කි. වේගවත් පිතිහරඹයක නිරත වූ ජෝස් බට්ලර් පන්දු 76 කදී ලකුණු 103 ක් රැස් කළ අතර ඔහු පන්දු 75 කදී රැස් කළ ඔහුගේ එක්දින දිවියේ 9 වන ශතකය වාර්තා අතරට එක්වූයේ ලෝක කුසලාන ඉතිහායේ එංගලන්ත ක්‍රීඩකයෙකු රැස් කළ වේගවත්ම ශතක ලෙසයි. කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 334 ක් පමණි. මොයින් අලී ලකුණු 19 ක් රැස් කළ අතර ක්‍රිස් වෝක්ස් ලකුණූ 21 ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී වහබ් රියාස් කඩුලු 3 ක් දවා ගත් අතර ශබඩ් ඛාන් සහා මොහොමඩ් අමීර් කඩුළු 2 බැගින් දවා ගත්හ. එංගලන්ත කණ්ඩායම මෙම තරගය පරාජයට පත්වීම වාර්තා අකරට එක්වුණේ, ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක ක්‍රීඩකයින් දෙදෙනක් ශතකයක් රැස් කරමින් එම තරගය පරාජය පත්වූ පළමු කණ්ඩායම ලෙසයි.