ඉන්දියාවේ ස්ථාන 11ක වැඩිම උෂ්ණත්වයක්

ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම උෂ්ණත්වය වාර්තා වූ ස්ථාන 15 න් 11 ක්ම ඉන්දියාවෙන්

by Staff writer 04-06-2019 | 8:04 AM
COLOMBO (News 1st) : ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම උෂ්ණත්වයක් වාර්තා වූ ස්ථාන 15 න් 11 ක්ම ඉන්දියාවට අයත් බව එරට මාධ්‍ය වාර්තා කළේ ය. ඉන් වැඩිම උෂ්ණත්වයක් වාර්තා වී ඇත්තේ සෙලිසියස් අංශක 48 .9 ක උෂ්ණත්වයක් වාර්තා කළ රාජස්ථාන් ප්‍රාන්තයේ චුරු ප්‍රදේශයෙනි. මේ හමුවේ රජයේ රෝහල් හදිසි තත්ත්වයන් සඳහා සූදානම් කර , උෂ්ණත්වය පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත්කිරීමට චුරු ප්‍රදේශයේ බලධාරීන් පියවර ගෙන තිබේ . එම ප්‍රදේශය තාර් කාන්තාරයේ පිවිසුම් දොරටුව ලෙස හැඳින්වෙන අතර මේ හමුවේ ප්‍රදේශයේ මාර්ගවල තාර උණුවීම වැළැක්වීම සඳහා එම මාර්ග මතට ජලය ඉසීමට පියවර ගෙන ඇති බව ද සඳහන් ය. දිල්ලි සහ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තය එලෙස ලොව අධික උෂ්ණත්වයක් වාර්තා වූ ඉන්දියාවේ සෙසු ප්‍රදේශ අතරට අයත් ය. ඉකුත් ඉරිදා දිල්ලියේ උෂ්ණත්වය සටහන් වූයේ සෙලිසියස් අංශක 44 . 6 ක් ලෙසයි . ලොව වැඩිම උෂ්ණත්වයක් වාර්තා වූ සෙසු ප්‍රදේශ 4 පකිස්ථානයෙන් වාර්තා වූ බවද සඳහන් ය. මෙම උෂ්ණත්වය පහත හෙළන මෝසම් වැසි සමය ලබන ජුනි හය වැනි දින ඉන්දියාවේ දකුණු දිග වෙරළ තීරයෙන් ඇරඹෙනු ඇතැයි එරට කාලගුණ විද්‍යා බලධාරීන් සඳහන් කළේ ය.