පොලිස් නිලධාරීන් 4ක් තේරීම් කාරක සභාව හමුවට

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 4ක් අද තේරීම් කාරක සභාව හමුවට

by Staff writer 04-06-2019 | 7:22 AM
COLOMBO (News 1st) : අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට අද පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව් දෙනෙකු කැඳවා තිබේ. ඒ අනුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, අපරාධ පරීක්ෂණ ‍දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ වරුණ ජයසුන්දර සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නාලක ද සිල්වා යන මහත්වරුන් තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටිමට නියමිතයි. මේ අතර, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද සමාන්‍ය පරිදි මාධ්‍යට විවෘත කිරීමට පියවර ගන්නා බව එම කමිටුවේ සමාජිකයෙකු නිවුස්ෆස්ට් වෙත සඳහන් කළේ ය. අප්‍රේල් 21 වනදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ මෙම තේරීම් කාරක සභාව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතීත්වයෙන් ක්‍රියාත්මකයි. රවුෆ් හකීම්, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා‍, රවී කරුණානායක, වෛද්‍ය රාජිත සෙනාරත්න, ආශු මාරසිංහ, ජයම්පති වික්‍රමරත්න, එම්. ඒ. සුමන්තිරන් හා වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මැති ඇමතිවරු කාරක සභාවේ සෙසු සමාජිකයෝ වෙති. පසුගිය 29 වන දා රැස්වූ එම කාරක සභාව මාධ්‍යයට විවෘතකර තිබූ අතර එදින ආරක්ෂක අමාත්‍යාශයේ ලේකම් ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ සහ ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන මහත්වරු සාක්ෂි ලබාදුන්හ. මේ අතර පාර්ලිමේන්තුව පස්වරු 1.00ට රැස්වීමට නියමිතයි.