ජනපති ට්‍රම්ප් බ්‍රිතාන්‍යයේ සංචාරයක් අරඹයි

ජනපති ට්‍රම්ප් බ්‍රිතාන්‍යයේ සංචාරයක් අරඹයි

by Staff writer 03-06-2019 | 6:22 AM
COLOPMBO (News 1st) : තෙදින නිල සංචාරයකට සහභාගී වීමේ අරමුණින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ,  බ්‍රිතාන්‍යයට පැමිණීමට නියමිත වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය අද පෙරවරුවේ ලන්ඩන් නුවර ස්ටෑන්ස්ටඩ් ගුවන්තොටුපළට ළඟාවීමට නියමිත බවයි. අද සවස බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජින විසින් ජනපති ට්‍රම්ප් සහ මෙලානියා ට්‍රම්ප් ආර්යාව වෙත භෝජන සංග්‍රහයක් පැවැත්වීමට ද නියමිතව ඇත. මෙයට විලියම් කුමරු සහ කේට් කුමරිය සහභාගී වන නමුත් ආචි කුමරු උපත ලබා තවම මසක කාලයක් වත් ගතව නැති බැවින් හැරී කුමරු සහ මේගන් කුමරිය ඊට සහභාගී වන්නේ නොවනු ඇති. මෙහිදී දෙවන එලිසබෙත් රැජිණ සහ අමෙරිකානු ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයේ දිවිගෙවන ප්‍රමුඛ පෙළේ අමෙරිකානුවන් ඇමතීමට ද නියමිත ය. අද දින අමෙරිකානු ජනාධිපතිවරයා වෙස්ට්මිනිස්ටර් ඇබේහි සංචාරයක නිරතවීමෙන් පසු චාර්ල්ස් කුමරු සහ කෝර්න්වෙල් ආදිපාදවරිය මුණගැසීමට ද නියමිත වේ. මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකානු ජනාධිපතිවරයාගේ බ්‍රිතාන්‍ය සංචාරයට එරෙහිව , ලන්ඩන් , මැන්චෙස්ටර් , බෙල්ෆාස්ට් , බර්මිංහැම් සහ නොටිංහැම් ආදී නගර රැසක ජනතාව විරෝධතා සංවිධානය කර ඇති බවයි . බ්‍රිතාන්‍යයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස කොන්සර්වටිව් පක්ෂ නායක බෝරිස් ජොන්සන් වෙත සහය දෙන බව අමෙරිකානු ජනාධිපතිවරයා මීට පෙර පවසා තිබිණ. ජනාධිපති ට්‍රම්ප් සිය බ්‍රිතාන්‍ය සංචාරය තුළදී බ්‍රිතාන්‍යයේ අමෙරිකානු තානාපතිවරයාට වෙන්කර ඇති වින්ෆීල්ඩ් නිවසේ නතරවනු ඇති . හෙට පෙරවරුවේ ජනපති ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ , ව්‍යාපාරිකයන්ගේ හමුවක් පැවැත්වීමට නියමිත අතර ඊට ව්‍යාපාරික නායකයන් කිහිපදෙනෙකු සහභාගී වන බව සඳහන් ය. සිය බ්‍රිතාන්‍ය සංචාරයෙන් පසු අමෙරිකානු ජනාධිපතිවරයා අයර්ලන්ත ජනාධිපති ලියෝ වරඩ්කාර් හමුවීමට අයර්ලන්තයේ ෂැනන් බලා යාමට නියමිතයි .