වියළි කාලගුණයෙන් ලක්ෂ 3කට වැඩි පිරිසකට පීඩා

වියළි කාලගුණයෙන් ලක්ෂ 3කට වැඩි පිරිසකට පීඩා

by Staff writer 02-06-2019 | 6:09 PM
COLOMBO (News 1st) : පවතින නියඟය හේතුවෙන් තුන් ලක්ෂ පනස් දහසකට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ දිනවල දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට වර්ෂාව බලාපොරොත්තු විය හැකි වුවත්, දිවයිනේ තවත් ප්‍රදේශ රැසක ජනතාව වියළි කාලගුණය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ, නැගෙනහිර පළාතේ මේ වනවිට 8000කට වැඩි පිරිසක් පවතින වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බවයි. මඩකළපුව දිස්ත්‍රික්කයේ, චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ඉලුප්පඅඩිචේනෛ, කරඩියනාරු, දේප්පවට්ටවාන්, කාර්මලෛ යන ප්‍රදේශවල ජනතාවගේ ජීවිතවලට දැඩි ලෙස බලපෑම් එල්ල වී තිබේ. ඊට හේතුව වන්නේ, ප්‍රදේශයේ සිටින ගවයින් මේ දිනවල මියයාමයි. ප්‍රදේශයේ ගොවීන් පවසන්නේ, ගවයින්ට අනුභව කරන්නට කිසිදු දෙයක් හෝ පානය කරන්නට ප්‍රමාණවත් ජලය නොමැති වීම හමුවේ මෙම තත්ත්වය උද්ගත ව ඇති බවයි. මේ හේතුවෙන් ප්‍රදේශයේ කිරි ගොවීන්, 500 කට වැඩි පිරිසක් දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙන්නේ තමන්ගේ ජීවනෝපායට ද මෙය දැඩි ලෙස බලපෑම් එල්ල කිරීම නිසාවෙනි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ, වර්ෂාව නොලැබුණහොත් ඉදිරියේදී වගාවන්ට ජලය සැපයීම අසීරු වී ඇති බවයි.