බංග්ලාදේශය හා දකුණු අප්‍රිකාව අද තරග බිමට

ලෝක කුසලානයේ බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකා තරගය අද යි

by Staff writer 02-06-2019 | 12:24 PM

News 1st - 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 5 වන තරගය අද පැවැත්වේ.

ඒ, බංග්ලාදේශය සහා දකුණු අප්‍රිකා කණ්ඩායම් අතරයි. දකුණු අප්‍රිකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සහභාගී වන දෙවන තරගය මෙය වන අතර බංග්ලාදේශ කණ්ඩායම මෙවර තරගාවලියේ සහභාගී වන පළමු තරගය මෙය වේ. මීට පෙර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි තුළදී බංග්ලාදේශය සහා දකුණු අප්‍රිකාව තරග 3 කදී එකිනෙකා මුණගෑසී ඇති අතර ඉන් තරග 2 ක ජය දකුණු අප්‍රිකාව සතු වන විට අනෙක් තරගය බංග්ලාදේහය ජය ගෙන තිබේ. ලොව ක්‍රිකට් කණ්ඩායම් අතරින් ඉතා ආක්‍රමණශීලි කණ්ඩායමක් ලෙස නම් කළ හැකි දකුණු අප්‍රිකාව මෙවර තරගාවලියට පිවිසෙන්නේ ඔවුන්ට මේ දක්වා සාක්ෂාත් කරගැනීමට නොහැකි වූ ලෝක කුසලාන සිහිනය යථාර්ථයක් බවට පත්කර ගැනීමේ ඒකායන අරමුණ සමගිනි. එහෙත් මේ දක්වා පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි කිසිවකින් ඔවුන්ට එකදු කුසලානයකට හෝ අවම තරමින් අනුශූරතාවයකටවත් හිමිකම් කීමට අපොහොසත් වීම කැපී පෙනන කරුණකි. මෙවර ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම් අතරින් නැගී එන කණ්ඩායමක් ලෙස බංග්ලාදේශයට ප්‍රමුඛස්ථානයක් හිමිවන්නේ අවසන් වසර 7 තුළ ඔවුන් අත්පත් කර ගත් ජයග්‍රහණයන් සමග එම කාලසීමාව තුළ කෙමෙන් කෙමෙන් හිස ඔසවමින් ලබා ගත් සීඝ්‍රදියුණුව හේතුවෙනි. දකුණු අප්‍රිකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.00 ට ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. බංග්ලාදේශය මෙම ක්‍රීඩා පිටියේදී තරග 3 ට සහභාගි වී ඇති අතර ඉන් කිසිදු තරගයක් ඔවුන් ජයගෙන නොමැති අතර දකුණු අප්‍රිකා කණ්ඩායම මෙම ක්‍රීඩා පිටියේදී තරග 10 කට සහභාගී වෙමින් ජය ගෙන ඇත්තේ තරග 3 ක් පමණි. පසුගිය වසර 20 තුළම මෙම පිටියේදී දකුණු අප්‍රිකාව ජයගෙන ඇත්තේ, එක් එක්දින තරගයක් පමණි. කෙසේ වෙතත් ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකා කණ්ඩායම හා බංග්ලාදේශය හමුවන පළමු අවස්ථාව මෙයයි.