විදේශ ගමන් බලපත්‍ර ගාස්තු අද සිට ඉහළට

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු අද සිට ඉහළට

by Staff writer 01-06-2019 | 7:09 AM

COLOMBO (News 1st) - විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු අද සිට ඉහළ දැමීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, සාමාන්‍ය සේවය සඳහා මීට පෙර අයකළ රුපියල් 3,000 ක මුදල රුපියල් 500 කින් ඉහළ දමා ඇති බවයි. ඒ අනුව සංශෝධිත නව ගාස්තුව රුපියල් 3,500 කි. සාමාන්‍ය සේවාව යටතේ වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට වසර 3 ක් වලංගු ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා මීට පෙර අය කළ ගාස්තුව රුපියල් 2,000 ක් වේ. එය රුපියල් 500 කින් ඉහළ දමා ඇත්තේ සංශෝධිත නව ගාස්තුව රුපියල් 2,500 ක් කරමිනි. එක්දින සේවය සඳහා මීට පෙර අය කළ රුපියල් 10,000 ක ගාස්තුව රුපියල් 5,000 කින් ඉහළ දමා ඇති අතර සංශෝධිත ගාස්තුව රුපියල් 15,000 කි. එක්දින සේවාව යටතේ වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට වසර 3 ක් වලංගු ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා මීට පෙර අය කළ ගාස්තුව රුපියල් 5000 ක් වන අතර නව ගාස්තුව රුපියල් 7,500 ක් දක්වා රුපියල් 2,500 කින් ඉහළ දමා තිබේ. මීට අමතරව විදේශ ගමන් බලපත්‍රයේ වෙනස්කම් සිදු කිරීම සඳහා එක් වෙනස්කමකට මීට පෙර අය කළ රුපියල් 500 ක මුදල රුපියල් 1000 ක් දක්වා ඉහළ දමා ඇතැයි ද ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.