ස්වර්ණාභරණ තොගයක් සමග සේවිකාවක අත්අඩංගුවට

රු. කෝටියකට අධික ස්වර්ණාභරණ සමග ගුවන්තොටුපොළ පවිත්‍රතා සේවිකාවක අත්අඩංගුවට

by Staff writer 01-06-2019 | 3:39 PM
COLOMBO (News 1st) - කිලෝග්‍රෑම් 2කට අධික බරින් යුත් ස්වර්ණාභරණ තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළ පවිත්‍රතා සේවිකාවක අත්අඩංගුවට ගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, ස්වර්ණාභරණ තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි පහලොස් ලක්ෂයක් පමණ වන බව ය. ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් මෙම කාන්තාව රේගුවට භාර දී ඇති අතර මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අතරමැදි මගියෙකු විසින් ස්වර්ණාභරණ තොගය මෙම පවිත්‍රතා සේවිකාවට ලබා දී ඇති බව ය. ඇය එම ස්වර්ණාභරණ තොගය ජාවාරම් කිරීමට තැත් කිරීමේදී ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ ය.