රජයේ නිලධාරිනියන්ට සාරිය හෝ ඔසරිය අනිවාර්යයි

සියලු රාජ්‍ය ආයතනවල නිලධාරිනියන්ට සාරිය හෝ ඔසරිය අනිවාර්ය කෙරේ

by Staff writer 31-05-2019 | 5:59 PM

COLOMBO (News 1st) - සියලු රාජ්‍ය ආයතනවල නිලධාරිනියන්ට සාරිය හෝ ඔසරිය පමණක් හැඳ රාජකාරියට පැමිණෙන්නැයි රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යංශය දැනුම්දීමක් කර තිබේ.

ඒ, අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්කරුවන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ රත්නසිරි මහතාගේ අත්සනින් නිකුත් කළ විශේෂ චක්‍රලේඛයක් මගිනි. රජයට අයත් සියලුම කාර්යාල පරිශ්‍රවල ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව ද ඔහු එම ලිපියෙන් අවධාරණය කර ඇත. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ චක්‍රලේඛයේ දැක්වෙන්නේ, රාජ්‍ය සේවයේ නිලධාරීන් කලිසම, කමිසය හෝ ජාතික ඇඳුමෙන් සැරසී සේවයට වාර්තා කළ යුතු බවයි. එසේම කිසියම් ආගමික චාරිත්‍රයට අනුව තම ඇඳුම සකස් කරගෙන සිටින නිලධාරිනියන් වේ නම් ඔවුන්ට සාරිය හෝ ඔසරියෙන් සැරසී එකී ආගමික අනන්‍යතාව තහවුරු වන පරිදි පැමිණිය හැකි බව ද එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් විය. කෙසේ වෙතත් දැනට නිල ඇඳුමින් සැරසී රාජකාරියට වාර්තා කරන සේවකයින්ට හා ගර්භනී නිලධාරිනියන්ට එම නීතිය බල නොපාන බව ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දෙයි.