by Staff writer 31-05-2019 | 4:01 PM
COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ නවදිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි මහතා හමුවිය.
හයිද්‍රාබාද් නිවසේ පැවති මෙම හමුවේදී මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට සුබ පැතුම් පිරිනමා තිබේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ, මනුෂ්‍යත්වයට තර්ජනයක් වන ත්‍රස්තවාදය හා අන්තවාදයට එරෙහිව සමීප සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට ඇති කැපවීම නායකයින් දෙදෙනා අවධාරණය කළ බවයි.
සාමය, සෞභාග්‍ය සහ කලාපයේ ආරක්ෂාව පිළිබඳව ද්වීපාර්ශ්වික සහයෝගය ශක්තිමත් කරමින් එක් ව කටයුතු කිරීමට ඇති කැමැත්ත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත අවධාරණය කළ බව ද එම නිවේදනයේ සඳහන් විය.
මේ අතර නරේන්ද්‍ර මෝදි මහතා ජුනි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද මෙම හමුවේදී දැනුම්දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
දෙවන ධූර කාලයේ පළමු නිල සංචාරය ලෙස මාලදිවයිනට යන මෝදි මහතා අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති.
මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, දිවුරුම්දීමේ උත්සවයට සහභාගිවීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිතුමාට සිය සතුට පළ කළ බවයි.
පසුගිය දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව කනගාටුවෙන් සිහිපත් කළ ඉන්දීය අගමැතිවරයා සාමය හා සංවර්ධනයට අදාළව දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සාකච්ඡා කළ බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.