ආගමික නායකයින්ගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

"කිසිදු රටක හමුදාවලට මෙරටට ඇතුළුවීමට ඉඩදෙන ගිවිසුම්වලට එකඟ වෙන්නේ නැහැ"

by Staff writer 31-05-2019 | 7:06 PM

COLOMBO (News 1st) - වෙනත් කිසිම රටක හමුදාවකට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට හෝ කඳවුරු බැඳීමට ඉඩ ලැබෙන කිසිදු ගිවිසුමකට එළඹෙනවාට තරයේ විරුද්ධ බව සියම් මහා නිකායේ මල්වතු - අස්ගිරි උභය විහාර සහ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් ඒකාබද්ධ ප්‍රකාශයකින් අවධාරණය කරති.

අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේ සහ උභය මහා විහාර අනුනායක ස්වාමින්වහන්සේ අද පස්වරුවේ කාදිනල් හිමිපාණන් සමග පැවති සාකච්ඡාවකින් පසුව මෙම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කර ඇත. එහි සඳහන් වන්නේ රට පත්වී ඇති ව්‍යාකූල වාතාවරණය තුළ මෙවැනි ගිවිසුම්වලට එළැඹීමෙන් රට වඩාත් අස්ථාවරභාවයට පත් නොකර, රට තුළ තිරසර සාමයක් ඇති කිරීම සඳහා ආගමික අන්තවාදී සංවිධාන තහනම් කර පොදු නීතියක් ක්‍රියාත්මක කිරීම රජයේ වගකීම බවයි. විදේශීය රටවල් හා සංවිධාන මෙන්ම ආයතන සමග රටේ ස්වාධීනත්වයට බලපාන ගිවිසුම්වලට එළඹෙන්නේ නම් පොදු මහජන මතය විමසිය යුතු බව ආගමික නායකයින්ගේ ඒකාබද්ධ ප්‍රකාශයෙන් අවධාරණය කර තිබේ.